Friday, February 28, 2020

සාමාන්‍ය ජනතාව ගණිකා මඩම්, ස්පාවලට ලිංගික පහස හොයාගෙන යද්දී ධනවත් පිරිසත් සුපිරි හෝටල්වලට යනවා -ඔව්. ගණිකා වෘත්තිය ගැන නීතිඥ අරුණ බද්දෙවිතාන කියයි

ඇතැම් අය ඒඩ්ස් බව දැනදැනම ඔවුන් එක්ක ලිංගිකව හැසිරෙනවා.  
 
ධනවත් අය සුරූපී කාන්තාවන් ලෙස සුපිරි හෝටල්වලට රැගෙන යන්නෙත් ගණිකාවන්ම තමයි.." -
 
ගණිකා වෘත්තිය නිසා සමාජය බොහෝ සෙයින් පිඩාවට පත්වන අවස්ථා දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය නීතිගත කළත් නැතත් මෙම ප්‍රශ්නවලින් මිදීමට හැකියාවක් නැති බවටත් මත පළවෙනවා. එමෙන්ම නීතියේ රැහැනට හසුවන ගණිකාවට පවතින නිතිය බලපැවැත්වෙන්නේ කොයි ආකාරයෙන්ද යන්න බොහෝ දෙනා දන්නේ නැහැ. ගණිකා සේවයේ යෙදීම ශ්‍රී ලංකා නිතිය අනුව වරදක් නොවන බවටත් පසුගියදා තීන්දු ලැබුණා. මේ සියලු කාරණා හේතුවෙන් ගණිකා වෘත්තිය ගැන කතා කිරීමට නීතිඥ අරුණ බද්දෙවිතාන මහතාව සම්බන්ධ කරගත්තා. ඒ පිළිබද ඔහුගේ අදහස් මේ.

ගණිකා වෘත්තිය කියන්නේ ලොව පැවති පැරණිම වෘත්තිය බවට මතයක් තිබෙනවා. එය කොහොම වුණත් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය මේ වෙද්දී ප්‍රචලිත වෙමින් පවතිනවා. මේ වෘත්තියේ පවතින නීතිය ගැන මුලින්ම සදහනක් කළොත්..?
 
ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් පවතින නීතිය ඈත ඉතිහාසයේ සිට පැවත එන නීතියක් වගේම තවමත් ඉංග්‍රීසි පාලනය යටතේ මෙරටට පැමිණි නීති සුළු වශයෙන් සංශෝදනය වී නඩු කටයුතු සදහා භාවිතා කරන්නේ. පනත් වශයෙන් කතා කළොත් පනත් දෙකක් යටතේ ක්‍රියාත්මක කරනවා.

එකක් ගණිකා නිවාස ආඥා පනත. ඊලග පනත අයාල ආඥා පනත(පාදඩ ආඥා පනත) . එය වර්ෂ 1841 අංක 4 දරන පනත අනුව ක්‍රියාත්මක වෙන්නේ. මෙහි සංශෝදන කිහිපයක් සිදුව තිබෙනවා.ඒ වගේම දණ්ඩනීති සංග්‍රහයේද කාන්තාවන් ගණිකාවන් ලෙස විකිණීම වරදක් බව සදහන් කර තිබෙනවා. මෙයට කුට්ටනය කියලත් කියනවා. එය දණ්ඩ නීති සංග්‍රහයේ 360 ( අ ) වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා තමයි නීතිමය පැත්ත.

මේ පනත් ගැන වෙන් වෙන් වශයෙන් පැහැදිලි කිරීමක් කළොත්..?

 
ගණිකා නිවාස ආඥා පනත කියන්නේ ගණිකා නිවාසයක්, ආයතනයක් පවත්වාගෙන යනවා නම් එම ස්ථාන වැටලිකමට ලක් කරනවා. එසේ වැටලීමකට ලක් කරන්නේ පොලිසිය මගින් සෝදීසි වරෙන්තුවක් රැගෙන ඇවිත්. මෙම වැටලීමෙන් එහි කළමනාකරුට හෝ මෙය මෙහෙය වන්නාවූ තැනැත්තාට නඩු පැවරීම තමයි සිදු වෙන්නේ, ඇතැම් අවස්ථාවලදී එම ස්ථානයට උපාය දුතයෙක් මගින් යොදවා ලබා ගන්නා ගණිකාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු පවරනවා. මෙම පනත යටතේ නඩු පැවරීමේදී ගණිකා නිවසේ හෝ ආයතනය වැටලීමේදී එහි සිටින අනෙක් තැනැත්තියන් ගණිකාවන් ලෙස සලකා නඩු පැවරීම සිදුවෙනවා.

පාදඩ ආඥා පනත එහෙමත් නැතිනම් අයාල ආඥා පනත. මෙහිදී වෙන්නේ වීදියක, පටුමගක, රජයේ දේපළක වගේම මහමග පොදු ස්ථානවල ඉන්න විදි ගණිකාවන් ගණිකාවක් ලෙස සලකා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට එරෙහිව නඩු පැවරීම.

නඩු පැවරෙද්දී ඇතැම් අවස්ථාවල රුපියල් 100ක දඩයක් නියම වෙනවා. මේ නීති ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ට ලැබෙන දඩුවම් හා දඩ මුදල් කොයි විදිහටද බලපැවැත්වෙන්නේ..?

 
මහාමාර්ගයේ ඉන්න විදි ගණිකාවන්ට රුපියල් 100ක දඩයක් හෝ 6 මාස ක සිරදඩුවම් නියම කරනවා. ඇතැම් අවස්ථාවල මෙම දඩුවම් දෙකම නියම වෙන අවස්ථාත් තිබෙනවා.

ගණිකා නිවාස ආඥා පනතේ වැරදිවලටද අනුව 2005 අංක 12 පනතේ දඩ මුදල් වැඩි කර තිබෙනවා. ඒ වැඩි වූ දඩ මුදල හා ඔවුන්ට සිරදඩුවම් නියම කරනවා. ඒ එම ගණිකා මඩම පවත්වාගෙන යන කළමනාකරුට එරෙහිව, ඒ වගේම ඔවුන් දෙවනවර නීතියට හසු වුණොත් තමයි වැඩි දඩමුදලක් අය වෙන්නේ . දඩයකට අමතරව ලිහිල් හෝ බරපතල සිරදඩුවම් නියම වෙනවා. ඇතැම් සිරදඩුවම් අනිවාර්ය කරනවා.මෙවැනි නඩුවලදී වෙනත් නඩුවලදී මෙන්ම නඩුව තීන්දු කරන්නේ පනත වගේම පූර්ව නඩු තීන්දු ගැනත් සලකාබලා කියන එකත් කියන්න ඕන.

එතකොට වැටලීම් වලදී ගණිකාව සමග ඉන්න සේවාදායකයාට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද..?
 
වැටලීම්වලදී ගණිකාව එක්ක හසුවෙන පිරිමි පාර්ශවයට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පනත අනුව එවැනි ප්‍රතිපාදනයක් නැහැ. බොහෝ වෙලාවට සිදුවෙන්නේ සාක්ෂි සටහන් කරගැනීම හා කටඋත්තර ලබාගැනීමට අවශ්‍ය වුණොත් ඔවුන්ව කැදවීම් කිරීම.

නීතිඥවරයෙක් හැටියට ඔබ ගණිකා වෘත්තිය අර්ථ දක්වන්නේ කොයි විදිහටද..?
 
ජීවත්වීම උදෙසා මුදලට ශරීරය ලිංගික කර්තව්‍ය සදහා විකිණීම ගණිකාව ලෙස අර්ථ දක්වන්න පුළුවන්.

කොලඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගියදා නඩු තීන්දුවක් ලබා දුන්නා ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවට දක්වමින්.එය මේදිනවල සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා. එය අලුත් නඩු තීන්දුවක්ද, ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්..?

 
මෙය නීතියේ අලුත් ප්‍රවණතාවයක් නොවන අතර මහේස්ත්‍රාත්තුමා විසින් ඉතාමත් නිවැරදිව දැනට පවතින නීතියේ ප්‍රතිපාදන ප්‍රකාරව සහ පුර්ව නඩු තීන්දු සලකා බලා ඉතා නිවැරදිව එම නඩු තීන්දුව ලබා දී තිබෙනවා.

ලංකාවේ නඩු තීන්දු තියෙනවා නම්වලින් කිව්වොත් සයිබර් වර්සස් එහෙම නැතිනම් සයිබර් එදිරිව චෙලම් කියලා. ඒ වගේම තවත් එකක් තිබෙනවා කුරේ එදිරිව ජේම්ස් අප්පු කියලා. මේවා පැරණි නඩු. ඒ නඩුවලදී සාකච්ඡා වෙලා තියෙනවා. ඒ නඩු තීන්දුවල තීරණය කරනවා ලංකාවේ නිතිය යටතේ ගණිකාවක් ලෙස කටයුතු කිරීම වරදක් නොවන බවට . ඒ වගේ තවත් නඩු තීන්දුවලදී සාකච්ඡා වෙලා තියෙන පැරණි නඩු තිබෙනවා. ගණිකා නිවසක රැදී සිටීම හා ගණිකාවට සහය දීමට එරෙහිවත් නඩු පවරන්න බැහැ කියලා. ඒ පනතට අනුව නඩු පැවරීමෙන් වැරදි කරුවෙක් කළ හැක්කේ නීතියට අනුව කළමනාකරුට හෝ ගණිකා නිවාසය මෙහෙයවන තැනැත්තාට.

ගණිකාව සම්බන්ධයෙන් ලංකාවේ පොලිසියේ හා අධිකරණයේ තීරණ ගන්නේ කොයි විදිහටද ? එහි වෙනස ගැන පැහැදිලි කිරීමක් කළොත්..?
 
ඕනෑම වරදක් සදහා රජය වෙනුවෙන් පෙනී ඉන්නේ පොලිසිය. ගණිකා සිද්ධි සම්බන්ධයෙනුත් එහෙමයි. පොලිසිය විසින් තමයි අත්අඩංගුවට ගන්නේ. එම චෝදනාවට ලක් කලාම නිවැරදිකරු බවට ප්‍රකාශ කරමින් නඩුවට මුහුණ දීමේ අයිතියක් ඕනෑම පුද්ගලයෙකුට පවතිනවා. නීතියේ නිර්දෝෂී භාවයේ පුර්ව නිගමනයක් කියලා සංකල්පයක් පවතිනවා.ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන් අධිකරණයක් ඉදිරියේ තමන්ගේ නිර්දෝෂිභාවයට කරුණු ඉදිරිපත් කළ හැකියි.

යම්කිසි වරදකට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්ත පමණින්, නඩු දැමු පමණින් ඔහු හෝ ඇය වරදකරුවෙක් වෙන්නේ නැහැ. තීන්දුව අනුව පමණයි වරදකරුවෙක් වෙන්නේ. එයට නඩු පවරලා, එය විභාග කරලා සාක්ෂි විමසලා තීන්දුව ලැබෙන්න ඕන ඔහු හෝ ඇය වරදකරු කියලා. ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් පවත්වන නඩුවලදී බොහෝ දෙනා අධිකරණය ඉදිරියේ වරද පිළිගන්නවා. ඇතැම් නඩුවලදී ඇතැම් තැනැත්තන් නීතියේ ප්‍රතිපාදන ප්‍රකාරව සහ නඩු තීන්දුවල තීරණ ප්‍රකාරව තර්ක කිරීම තුලින් නඩුවලින් නිදහස් වෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්තාවක් තමයි සමාජයේ කතාබහට ලක් වූ කොටුව මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ පැවති නඩුව.

ගණිකා වෘත්තිය ගැන නීතිඥ සංගම් මේ සදහා යෝජනා ගෙන එන්නේ නැද්ද ..?
 
නීතිඥ සංගම් මගින් මේ මාතෘකා ගැන විවිධ කථිකාවන් ඇති වෙනවා. ඇත්තටම කිව්වොත් මෙය සාකච්ජා කළ යුතු කාරණයක්. ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් පවතින නීති යාවත්කාලින වෙන්න ඕන. එම නීති අද කාලයට ගැලපෙන විදිහට සංශෝධනයක් සහ නව නීති සකස් විය යුතුයි.

ගණිකාව නිසා සමාජයට ඇති වෙන බලපෑම් වැඩියි. මේ හේතුවෙන් ගණිකා වෘත්තිය තහනම් කරන්න ඕන කියලා ඇතැම් පිරිස කියනවා. තවත් පිරිසක් කියනවා මෙය නීතිගත කරන්න ඕන කියලා, මෙය තහනම් කළොත් ළමා අපචාර, දුෂණ, අතවර ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩි බව, නීතිගත කළොත් සමාජ ගැටළු මතු වෙනවා..?
 
මෙය නීතිගත කරනවා නම් අපේ රටේ සමාජ සංස්කෘතියට ගැලපෙන විදිහට ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන. නීතිගත කරනවා කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන්න අයිතියක් තියෙනවා කියන එක. මෙය කොහෙත්ම අපේ රටේ සමාජ සංස්කෘතියට ගැලපෙන දෙයක් නෙමෙයි. සදාචාරාත්මක දෙයක් හැටියට කවුරුත් සලකන්නේ නැහැ. ඒ නිසා හොදම දේ මෙය නැතිකිරීම කියන එක තමයි මගේ නම් පුද්ගලික මතය. මේ තුලින් සමාජයට නොයෙකුත් අගතීන් සිදු වෙනවා. විවිධ සමාජ රෝග පැතිරෙනවා. එයින් පවුලට, සමාජයට නරකක් වෙන්නේ. හිතකර දෙයක් වෙන්නේ නැහැ. පවුලක තාත්තා කෙනෙක් ගණිකා ඇසුරක් පවත්වනවා නම් ඔහු අධික මුදලක් ඒ සදහා යොදවනවා. එතකොට ආර්ථික ප්‍රශ්න, පවුල් ආරවුල්, යුතුකම් මගහැරීම් වැනි දේ ඇති වෙන්න පුළුවන්. සමාජ රෝග ඇති වෙන්න පුළුවන්. ඒගැන සමාජය දැනුවත් වෙලා පියවරක් ගන්නවා නම් තමයි සුදුසු.

සාමාන්‍ය ජනතාව ගණිකා මඩම්, ස්පාවලට ලිංගික පහස හොයාගෙන යද්දී ධනවත් පිරිසත් සුපිරි හෝටල්වලට යනවා..?

 
ඔව්. අධික ධනවත් අය සුරූපී කෙනෙක් එක්ක සුපිරි හෝටල්වලට ගිහින් ඔය කියන දේවල්මයි වැඩිමුදලක් යොදවලා කරන්නේ. මෙහිදී දකින අය හිතන්නේ නැහැ ඒ යන්නේ ගණිකාවක් එක්ක කියලා. නමුත් ඔහු යන්නේ ගණිකාවක් එක්ක.

මේ හේතුන් නිසා සමාජ රෝග බෝ වෙනවා. ඇතැම් ගණිකාවන්ට ඒඩ්ස් වැනි බරපතල සමාජ රෝග වැළදී තිබියදීත් පළිගැනීමේ අරමුණින්, සමාජ වෛරී චේතනාවෙන් පුද්ගලයින් එක්ක මුදලට යහන්ගත වෙන බවට සදහන් වෙනවා. එවැනි පිරිස නිතිය හමුවට එන්නේ නැද්ද..?

 
එවැනි අයව නීතිය හමුවට පමුණුවන්න දැනට ප්‍රතිපාදනයක්‍ නැහැ. ඒ වගේම කියන්න ඕන ඒඩ්ස් ආසධිතයින් වාර්තාවීම වසරින් වසර වැඩිවන බවට වාර්තා පෙන්වා දෙනවා. HIV ආසධිත වුනාම HIV නිසා මිය යන්නේ නැහැ. කෙටි කලකින් මිය යන්නේ වෙනත් රෝගවලින් ඒ කියන්නේ නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි රෝග නිසා කියලා වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ නිසා මේ වෙද්දී HIV ආසධිතයන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි රෝගවලින් මිදී ජිවත් වෙන්න. ඒ නිසා HIV ආසධිතයෙකුට පවා වසර 20ක් පමණ කාලයක් ජිවත් වීමේ හැකියාවක් පවතිනවා.

ඒ නිසා HIV ආසධිතයින් ප්‍රතිකාර මගින් ජිවත් වෙන්න උත්සහ ගත්තාට සමාජය කෙරෙහි තිබෙන වෛරය පිරිමහන්න ඔවුන් කරන්නේ එය බෝ කරන එක. හිතාමතා නිරෝගී පුද්ගලයින්ව ඔවුන් ඇසුරු කරනවා. එවැනි අය නිතිය හමුවට එන්නේ නැහැ. මොකද කවුරුත් එවැනි අයත් එක්ක බලහත්කාරයෙන් ඉන්නේ නැහැනේ. ඒ වගේම සමාජ රෝගීන්ට දඩුවම් ලබා නිතිය තුල ප්‍රතිපාදන වෙන් කරලත් නැහැ.

ඇතැම් අය ඒඩ්ස් බව දැනදැනම ඔවුන් එක්ක ලිංගිකව හැසිරෙනවා. මෙහෙම කරන්නේ අවබෝධයක් නොමැතිකම හෝ නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. එහෙන්ම නැත්තම් සමාජ රෝග කියන්නේ සුළු දෙයක් කියලා තැකීමක් නොකර ඉන්න පුළුවන්. ඒ නිසා ගණිකාවක් එක්ක යහන්ගත වෙන කෙනෙක් ඔවුන් ලගට යන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මේ නරක දේවල් වලින් ඈත් වෙන්න තම තමන්ට වගකීමක් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.


හර්ෂණී වීරරත්න


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka