Sunday, February 9, 2020

බෝම්බ බැන්ද මළමිනී පා කරලා එවද්දි නාගදීපය දාලා නොගිය අපේ හාමුදුරුවෝ - බිහිසුණු අත්දැකීම් පිරි සම්පුර්ණ කතාව මෙන්න

සිංහල බෞද්ධයාගේ උරුමය රැකගන්න තම ජීවිතය පිළිබඳ අබමල් රේණුවක්වත් තරම් නොතකා බිහිසුණුම ත්‍රස්තවාදය හමුවේ නොසැලී සිටීමට තරම් දකුණෙන් බිහිවූ ඒ කළු සිංහලයා හෙවත්
යතිවරයාණෝ සමත් වූහ. ඒ සිංහලයාට උතුරුකරයේ සම්බුද්ධ පාද ස්පර්ශයෙන් උරුම වූ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නිමක් නැති සාගරයෙන් වටවූ ඒ දූපතේ තනිවම උරුමය රැකගන්නට ගත් උත්සාහය නිසාය.

අද වන විට තිස් වසරක බිහිසුණු යුද්ධයකින් පසු ඒ උරුමය සිංහල බෞද්ධයාට හිමි විය. ඒ බෞද්ධයාගේ උතුම් උරුමයක් වූ නාගදීප විහාරයයි. වර්ග සැතපුම් හතහමාරක් වූ නයිනතිව් නාගදීප දූපතේ දමිළ ජනතාව 2,800ක් සහ මුස්ලිම් ජනතාව 157 දෙනෙක් ජීවත් වෙති. නාගදීප විහාරය ප්‍රධාන බෞද්ධ විහාරය වන අතර නාගදීප දූපත මැද බුද්ධ වලව්ව ලෙස හඳුන්වන ඓතිහාසික විහාරස්ථානයක්ද වෙයි. එම බෞද්ධ උරුමයට අමතරව එක් ඉස්ලාම් ආගමට අයත් දේවස්ථානයක් හා කතෝලික දේවස්ථානයක්ද ප්‍රධාන හින්දු දේවස්ථානය ලෙස සැලකෙන ශ්‍රී  නාගභූෂණ අම්මාන් කෝවිල ඇතුළු සර්ව ආගමික මධ්‍යස්ථානයක්ද ඇත.

මෙම දූපතට ඓතිහාසික උරුමයක් ලෙස සැලකෙන්නේ බුද්ධ වලව්ව විහාරය, නාගදීප පුරාණ විහාරය සහ ශ්‍රී  නාගභූෂණ අම්මාන් කෝවිලයි. මෙම දූපතේ එදා සිටි එකම සිංහලයා වූයේද නාගදීප ඓතිහාසික රජමහ විහාරයේ විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේය. 1973 වර්ෂයේ උන්වහන්සේ නාගදීප රජමහ විහාරයේදී පැවිදි දිවියට පත්ව මේ වන විට පැවිදි දිවියට පුරා වසර 47ක් සපිරෙයි.

එම වසර 47 කාලය තුළ වසර තිහක්ම අති බිහිසුණු කොටි ත්‍රස්තවාදීන්ට මැදිව ශාසනික මෙහෙවරත් බෞද්ධ උරුමයත් සිංහල බෞද්ධයා වෙනුවෙන් යුතුකම ඉටු කරන්නට විඳි ගැහැට උන්වහන්සේ මෙසේ 'මව්බිම'ට පැවැසූහ.

මම නාගදීප රජමහ විහාරස්ථානයට ආවේ 1973 අවුරුද්දේ. ඒ 1973 වර්ෂයේ ඉඳලා අවුරුදු 47ක්ම නාගදීප විහාරස්ථානයේම තමයි මම ජීවත් වුණේ. ඒ කාලය තුළදී අපේ නායක හාමුදුරුවොයි, මමයි විතරයි මේ විහාරස්ථානයේ වැඩවාසය කළේ. මට අවුරුදු 11ක් ඇති එදා මුලින්ම නාගදීපයට එනකොට.

මගේ වයසෙ කිසිම සිංහල ළමයෙක් හෝ එකම සිංහල පවුලක් හිටියේ නෑ. ඉතින් මම මගේ වයසෙ දෙමළ ළමයි සමඟ තමයි ජීවත් වුණේ. ඉතින් දෙමළ ජනතාව සමඟ අපිට කිසිම කරදරයක් නැතිව ඉතා සමඟියෙන් ජීවත් වුණා. පොඩි කාලෙ ඉඳලා අවුරුදු 10ක් තිස්සේ අපි දෙමළ ජනතාව සමඟ ඉතා හොඳින් හිටියා. ඒත් 1983 ජූලි මාසයේ කලබලයක් මුලින්ම ඇති වුණා. එම කලබලයෙන් පස්සේ නාගදීපෙ ඉඳපු මටත් ඉන්න බැරි තරම් ප්‍රශ්න ආවා.

බොහොම අමාරුවෙන් තමයි මේ ප්‍රදේශයේ ජීවත් වුණේ. එහෙම අමාරු තත්ත්වයකින් ජීවත් වන අතරතුර තමයි 1986දී නාගදීප විහාරයට වගේම නාවික හමුදාවට කෑම ගේන යාත්‍රාවකට මුලින්ම එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් එල්ල වුණේ. ඒ අවස්ථාවේ තමයි නාගදීපයේ ඉන්න දමිළ ජනතාව, මුස්ලිම් ජනතාව බය වෙලා නාගදීප විහාරස්ථානයට ඇවිල්ලා අපේ ලොකු හාමුදුරුවන්ට වැඳලා කිව්වා අනේ හාමුදුරුවනේ අපිව බේරගන්න. අපේ එකම ගැලවුම්කාරයා ඔබ වහන්සේ තමයි කියලා. එතකොට මට වයස අවුරුදු විසි හයක් විතර ඇති. ඉතින් එදා ඉඳලා අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ජීවත් වන අතර ඒ නිසාම ජාති, කුල, ආගම් භේද අපිට තිබුණේ නෑ. අපි බුදු දහමට අනුව බෞද්ධ ධර්මයට අනුව පිළිපදින අය නිසා මේ දෙමළ, මේ මුස්ලිම් මිනිහා කියලා ආගම් භේද, ජාති භේද සලකන්න බෑ. ඒ නිසා අපේ නායක හාමුදුරුවෝ බොහොම කරුණාවන්තව තමයි කටයුතු කළේ. ඒ ඇසුරින් තුළින් තමයි මම පන්නරය ලැබුවේ.

ඉතින් ඔහොම කාලය ගතවෙවී යන අතරතුර තමයි බොහෝ භයානක සිද්ධි ගණනාවක් සිද්ධ වුණේ. ඒවා විග්‍රහ කරන්න බෑ. ඔහොම තමයි අපි මේ ප්‍රදේශයේ ඉතා අමාරුවෙන් ජීවත් වුණේ. අපිට දානමාන ලැබෙන්න විධියක් තිබුණේ නෑ. එහෙම ඉන්නකොට අපිට අවුරුදු 60ක් තිස්සේ දානමාන ලැබුණේ දමිළ ජනතාවගෙන්. මේ තරම් ත්‍රස්තවාදී ප්‍රහාර මැද්දෙ දමිළ ජනතාව අපිට දානය ගෙනත් දුන්නා. ඒ අය දානය ගෙනත් දුන්නේ අපි සිංහල කියල නෙවෙයි.

බෞද්ධ කියල නෙවෙයි. අපි මනුස්සකම දන්න ජාතියක් නිසා. මනුස්සකමට ඒ ගොල්ලො කවුරුත් මට කිව්වෙ අපේ හාමුදුරුවො කියලා. 'එන්කල සාමි' කියලා. ඒ තරම් මේ ජනතාව ළෙන්ගතුකමින් ගෞරවයෙන් තමයි මම සමඟ කටයුතු කළේ. මේ ප්‍රදේශවල විශාල වශයෙන් ඒ අවධියේ ත්‍රස්තවාදී බලපෑම් තිබුණා. අපිට රාත්‍රි කාලයට ඔය කුඩකටුආර කියන දූපතේ ඉඳලා නාගදීප දූපතට ප්‍රහාරයක් එල්ල වෙනව නම් ඒක අනිවාර්යෙන්ම නාගදීප දූපතේ ජනතාවට බලපානවා. අපිට එල්ල කරන ප්‍රහාරය ඒ දෙමළ, මුස්ලිම් ජනතාවට බලපානවා. ඉතින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නාගදීප විහාරයට ප්‍රහාරයක් සැලසුම් කරන විට එම දෙමළ ජනතාව මට තමයි පළමුවෙන්ම ඇවිත් කියන්නේ සාමි පණ බේරගෙන යන්න, ත්‍රස්තවාදීන් ඔබ වහන්සේට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් තියෙනවා කියලා. මොකද ඒ ජනතාව නාවික හමුදාව සමඟ සම්බන්ධකම් පැවැත්වූවේ නෑ. එයාලා මේ හැම තොරතුරක්ම මට තමයි ඇවිත් කියන්නේ. පස්සේ මම ඒ හැම තොරතුරක්ම නාවික හමුදාවට දන්වනවා.

ඒ තුළින් මේ දූපතට, මේ දූපතේ වැසියන්ට වෙන්න ගිය මහ විනාශයන් නතර කර ගන්න පුළුවන් වුණා. එහෙම ආරක්‍ෂා වෙන්න පුළුවන් වුණේ බුදු හාමුදුරුවන්ගෙ ධර්මය තුළ ජීවත් වුණු නිසා. අපි අනුනුත් ආරක්‍ෂා කරනව නම් අපිත් ආරක්‍ෂා වෙනවා. ඒක තමයි ධර්මය. එහෙම කාලයක් යන විට යුද්ධයේ ඉතා බිහිසුණු තත්ත්වය වර්ධනය වන විට මේ නාගදීප විහාරයට විතරක් නෙවෙයි නාගදීප දූපතටම කන්න බොන්න නැති තත්ත්වයක්, හිඟයක් ආවා. එහෙත් මේ පන්සලේ මේ දූපතේ වැසියන්ට කන්න බොන්න දෙන්න තරම් දෙයක් තිබුණා. ඒ මිනිසුන්ට කන්න බොන්න දුන්නෙත් ඒ මිනිස්සු රැකගන්තෙත් මේ නාගදීප පන්සලේ මම. අදටත් ඒ මිනිස්සු මට ගරු කරනවා. මට ආදරෙයි. මට මේ දූපතේ දානය ලැබෙන්නෙ මේ දමිළ, මුස්ලිම් මිනිසුන්ගෙන්. ඒ අසීරු කාලයේ ඒ ජනතාව පන්සලට ඇවිල්ලා අඬනවා. 'අපේ හාමුදුරුවනේ අපේ ළමයින්ට කිරිපිටි නෑ, කන්න බොන්න නෑ.

අපිට ජීවත් වෙන්න බැ' කියලා කියනකොට මම පන්සලේ එක බත් ඇටයක් එක කිරිපිටි හැන්දක් නැති වෙනකම් මේ මිනිසුන්ට දීලා මේ මිනිස්සු රැකගත්තා.

ඒ වගේම රජයෙන්, හමුදාවෙන් ධීවර කටයුතු සඳහා ධීවරයන්ට නාගදීපෙන් මුහුදු යන්න තහනම් කරලා තිබුණා. මේ නිසා තමයි ජනතාවට කන්න බොන්න හොයාගන්න බැරි තරමට පත්වුණේ. මට ඇවිත් කිව්වා 'අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට විතරයි කරන්න පුළුවන් අපිට ධීවර රැකියාවල නිරත වෙන්න අවසර ලබාදෙන්න' කියලා ඉල්ලීමක් කළා. නමුත් ඒක වෙලාවෙ හැටියට කිසිසේත්ම කරන්න බැරි කටයුත්තක්. ආරක්‍ෂාව අතින් හරිම අමාරු කාලයක ජනතාවගේ ඉල්ලීමට අනුව මම නාවික හමුදාවට ඒ ගැන කිව්වා. මේ නාගදීපෙ ඉන්න ජනතාව ගැන මට විශ්වාසයි. ඒ ජනතාව විශ්වාස කරලා මම ඒ සඳහා මැදිහත් වුණා. මම නාවික හමුදාවට කියලා රාත්‍රි කාලයට ඒ අයට ධීවර කටයුතුවල නිරත වෙන්න අවසර ඉල්ලලා දුන්නා. ඒ තුළින් මිනිස්සු තවදුරටත් මට සමීප වුණා, මේ හාමුදුරුවො සිංහල වුණත් අපි ගැන විශ්වාස කරලා අපිව රැකගන්නවා කියලා.

ඉතින් තිස් වසරක යුද්ධය මේ වන විට අවසාන වෙලා තියෙනවා. යුද්ධය පටන් ගන්න කලින් වසර දහයකට පෙර ඉඳලා අපේ සම්බන්ධය මේ ජනතාව සමඟ තිබුණා. ඒක යුද්ධයෙන් පලුදු කරන්න බැරි වුණා. දැන් යුද්ධය ඉවරයි. ඒත් තවම ඒ විශ්වාසය සම්බන්ධකම් තවම හොඳට තියෙනවා. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔය අන්තගාමී උතුරේ දේශපාලනඥයන් කියන ඒවා නෙවෙයි තියෙන්නේ. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි භාෂා ප්‍රශ්නය. ඒක නිසා මේ ජනතාවත් දකුණේ ජනතාවත් අතර හොඳ සම්බන්ධතාවක් පවතින්නෙ නෑ. එකිනෙකාගේ අදහස් හුවමාරු වෙන්නෙ නෑ. ඒ නිසා මම දකින්නෙ හොඳ සහජීවනයක් ජනතාව තුළ ඇති කිරීමට භාෂා ප්‍රශ්නය විසඳිය යුතුයි. මම දකුණෙ ගාල්ලේ නවඳගල උපන් කෙනෙක්. මට ද්‍රවිඩ භාෂාව පුළුවන් වෙලා නෙවෙයි උතුරට ගියේ. නමුත් ඒ අය සමඟ ඉඳල තමයි මට දෙමළ හොඳට පුරුදු වුණේ.

ඒ නිසා තමයි මේ ජනතාව සමඟ හොඳට අදහස් හුවමාරු කර ගත්තේ. ඒ නිසා අන්තවාදය පරදා, ජනතාවගේ සමඟියට භාෂා ප්‍රශ්නය විසඳිය යුතුමයි.

පස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මැරුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ සිරුරු තුළ සඟවලා මුහුදේ පා කරලා එවනවා බෝම්බ. ඉතින් සංවේදී මිනිස්සු විධියට අපි මේ මළකඳන් වෙරළෙන් පිටතට ගන්න ගියාම පුපුරනවා. මේ ගැන නාවික හමුදාව තොරතුරු රැස්කරගෙන සිටිය නිසා අපේ ජීවිත රැකගන්න පුළුවන් වුණා. ඒ වගේම ගවයන්ගේ ශරීරයට සවිකරලා බෝම්බ ගම්මානවලට එව්වා. ඉතින් ඔවුන් නිතර කියන්නේ 'මේ නාගදීප දූපතේ රජා ඔබ වහන්සේ' කියලයි. ඒ වගේම ඔවුන්ගේ ජීවිත රැකගන්න සිටින එකම ගැලවුම්කාරයා කියලා කියනවා විතරක් නෙවෙයි ඒ අයුරින්ම විශ්වාස කරනවා.

බහුතර දෙමළ ජනතාව ඉන්න ප්‍රදේශවල සුළුතර ජනතාවකට ඉන්න දෙන්නේ නෑ. දෙදහස් අටසීයක් මැද එක සිංහලයකුට ඉන්න දෙනවද? එහෙම ඉන්න නොදෙන්නේ කවුද? ජනතාව නොවන බව මේ තුළින් හොඳට වැටහෙනවා. නාගදීපෙට කිසිම අන්තවාදී දේශපාලනඥයකුට මම එන්න දෙන්නේ නෑ. එහෙම එන්න දුන්නා නම් මේ දූපතත් විවිධ කල්ලි ආක්‍රමණය කරලා මේ මිනිස්සු මේ වන විට භේදභින්න කරලා හමාරයි. ඒ නිසා මගේ අවසරයක් නැතිව කිසිම කෙනකුට මේ නාගදීප දූපතේ කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ. මොකද මේ ජනතාවගේ ආරක්‍ෂාව වගේම සමඟිය රැකදෙන්න එදා වගේම මම කටයුතු කරනවා. ඒ භාරදූර වගකීම මට පැවරුවේ මේ ජනතාවමයි.

ඒ වගේම තමයි මේ දූපතේ දමිළ හෝ මුස්ලිම් මනුස්සයකුට කරදරයක් වුණාම ඉක්මනින් එන්නෙ නාගදීප රජමහ විහාරයට. ඇවිත් මම හොයාගෙන එනවා. ඒ වගේම මේ කාගෙ හරි ගෙදරක මරණයක් වුණාම මම එයට සහභාගි වෙනවා. මම සහභාගි නොවුණොත් ඒක ලොකු ගැටලුවක් ඒ අයට. ඉතින් මම විදේශගත වෙලා හිටියත් මරණය අවසන් කරන්න කලින් එනවා. ඇතැම් අය පවසන්නේ මේ දූපතේ නායකයා මම කියලා. ඒ අය මට කියන්නේ 'තලයිමයි ස්වාමි' කියලා.

පසුගිය 28 වැනි දින කැනඩාවේ ශ්‍රී  ලාංකේය ජනතාව මාව කැනඩාවට කැඳවලා දානමය ආදියෙන් සංග්‍රහ කරලා මට එහේදී සම්මාන උපහාර උත්සවයක් පැවත්වූවා. ඒ ජාතික සමඟිය මෙන්ම ජාති ආගම් ලොකු පොඩි භේදයකින් තොරව මානව සත්ත්වයාට එකසේ සැලකීම බුදු දහමට අනුව අනුගමනය කිරීම අගය කරමින්."

ශ්‍රී  නාගවිභූෂණ අම්මාන් කෝවිලේ ඒ.එච්. ත්‍යාගරාජ ප්‍රධාන පූජකතුමා අදහස් දක්වමින් පැවැසුවේ, ශ්‍රී  නාගදීප රජමහ විහාරයේ විහාරාධිපති හිමියන් දමිළ ජනතාවට අසීමිත සෙනෙහසක් ආදරයක් දැක්වූ බවත් දරුණු යුද සමයේ පවා මේ ජනතාව අතහැර දමා නොගිය බවත්ය. තමාද මෙම කෝවිලේ ප්‍රධාන පූජකයා ලෙස කටයුතු කළත් විහාරාධිපති නවදගල පදුම කිත්ති තිස්ස හිමියන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා බව ත්‍යාගරාජා මහතා කීය. "අපේ දමිළ ජනතාව ඉමහත් ආදරයක් උන්වහන්සේට දක්වනවා. දුක සැප දෙකේම මේ ජනතාවත් සමඟ උන්වහන්සේ සිටිනවා" පූජකතුමා පැවැසීය.

මාතර - උදය කුමාර රණවීර

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka