Tuesday, February 4, 2020

ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට කොරෝනා වැළඳුණු පුවත බොරු - කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 427දක්වා ඉහළ යයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව අද වනවිට 427 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ලොව පුරා වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,629 ක්.
මේ අතර වෛරසය වැළඳුනු බවට සැකසහිත පුද්ගලයින් 16 දෙනෙකු මේ වනවිට මෙරට රෝහල් 5 ක ප්‍රතිකාර ලබනවා.

ඒ, මහනුවර ජාතික රෝහලේ රෝගීන් 8ක්, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 3 ක්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් දෙදෙනෙකු බැගින් සහ මීගමුව මහ රෝහලේ එක් රෝගියෙකු වශයෙන්.එසේම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොරෝනා වෛරසය වැළඳුනු බවට සැක කරන ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එමෙන්ම කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබ තවදුරටත් රෝහලේ නේවාසිකව පසුවන චීන ජාතික කාන්තාවගේ තවත් පරීක්ෂණ කිහිපයක වාර්තා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ලැබීමට නියමිතයි.

එමෙන්ම චීනයේ - වූහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරේ සිට අද නිදහස් දිනය සමරා තිබුණා.

මුඛ ආවරණ පැළඳ ජාතික ධජයක් සහිතව පෙනී සිටින සමූහ ඡායාරූපයක් ඔවුන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීම ද විශේෂත්වයක්.

මේ අතර කොරෝනා වෛරස් රෝගය ඇතුලු වෛරස් රෝග මැඩලීමට සහ පාලනය සඳහා ආයුර්වේදයේ ඇති පිළියම් සහ ඉදිරියේදී වෛරසය පැතිරීම පාලනය සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් ගතහැකි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාව සඳහා නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශීය සහ පාරම්පරික වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන් එක්වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉතා ක්‍රමවත් නිරෝධායන ක්‍රියාවලියක් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරිය පෙන්වා දෙන්නේ කොළඹ වරාය සහ කොළඹ වරාය මගී පර්යන්තය වෙත පැමිණෙන මගී නෞකා සහ එම මගීන් සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැති බවට ඇතැම් පාර්ශවයන් පවසන කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

මේ අතර මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත සිදුවූ දෙවන මරණය හොංකොං වලින් අද වාර්තා වුණා.

වූහාන් හි සිට පැමිණි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මෙම තත්ත්වයත් සමඟ චීනය හා සම්බන්ධ වන ප්‍රධාන දේශසීමා දොරටු 10 ක් පමණ වසාදැමීමට ද හොංකොං බලධාරින් ක්‍රියා කළා.

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ලොව රටවල් 27කින් වාර්තා වන අතර, චීන ජාතික කොමිසමේ දෛනික වාර්තාවලට අනුව පුද්ගල මරණ 425 ක් චීනයෙන් වාර්තා වනවා.

ඉන් මරණ 64 ක්ම සිදුවී ඇත්තේ ගත වූ පැය 24 තුළයි. එසේම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ පියා සහ සහෝදරයා සතියක කාලයක් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටීම හේතුවෙන් තනි වූ අදාළ දරුවා මියගිය පුවතක්ද චීන මාධ්‍ය වාර්තා කළා.

සිද්ධියට වගකිව යුතු නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.

චීනයේ - ගුවයිෂු ප්‍රදේශයේ මසක් වයසැති බිළිඳියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද වාර්තා වුණා.

ඇය සැලකෙන්නේ මෙම මාරාන්තික වෛරසය ආසාදනය වූ ලාබාලතම රෝගියා ලෙසයි.

මේ අතර, කොරෝනා වෛරසය චීනය තුළ පැතිර යාම පාලනය කිරීමේදී තම රජයෙන් අඩුපාඩු සිදුවී ඇති බව, චීන ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට දේශපාලන ස්ථාවර කමිටුව රැස්වූ අවස්ථාවේ චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එරට හදිසි අවස්ථා කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

මේ අතර, පුද්ගලයින් 2500 ක් සහ දහසක පමණ කාර්ය මණ්ඩලයකින් යුත් නෞකාවක් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා.

ඒ ඩයමන්ඩ් ප්‍රින්ස් නමැති නෞකාවේ දින කිහිපයක් ගත කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් චීනයට සංචාරක සීමා පැනවීමට දැනටමත් කටයුතු කර ඇති අතර, තායිවානය ද අද නිවේදනය කළේ දින 14 ක කාලයක් චීනයේ ගත කළ විදේශිකයින්ට තම රටට ඇතුළු වීම තහනම් බවයි.

ඇතැම් රටවල් චීනය සමඟ සබඳතාවලට එලෙස සීමා පනවද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පිහිටි ලෝක උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆාහි චීන ධජය ආලෝකමත් කරමින් චීන ජාතිකයින් දිරිමත් කිරීමට ඔවුන් කටයුතු කළා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හැම් පවසන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීමට සංචාරක සීමා පැනවීම අනවශ්‍ය බවයි.

මේ අතර, තායිලන්තයේ සංචාරයක් සඳහා පැමිණි දකුණු කොරියානු කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අග්නිදිග ආසියාවේ සංචාරයකින් අනතුරුව විදේශිකයෙකු කොරෝනා වෛරසයට ගොදුරුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන්.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka