Monday, February 24, 2020

යොවුන් ලෝක කුසලානයේදී කපා දමපු ; ලකුණු 350ක් එක්ක පාසල් ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ අවිශ්ක කතා කරයි

අර්ජුන-අරවින්ද වැනි ශ්‍රේෂ්ඨයන්ට සම කළ නොහැකි වුණත් අනාගතයේදී එවැනි ක්‍රීඩකයකු වීමට ඉඩ ඇති බවට ඉඟි කරලා

ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට නම් අනිවාර්යයෙන්ම පාසල් ක්‍රිකට් තුළින් යමක් කළ යුතුම වෙනවා. ඒ නිසාම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විස්මයජනක දෙයක් කරන ක්‍රීඩකයන් පිළිබඳව
බොහෝදෙනෙක් විමසිලිමත් වෙන එක සාමාන්‍ය දෙයක්.

1980-90 වකවානුවේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ දෙනකු අතර මුල්බැස ගත්තාද කිව්වොත් එදා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ යමක් කළ අයෙක් ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රිය වූ අවස්ථා අනන්තවත් දැකගන්න ලැබුණා. අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රුමේෂ් රත්නායක, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, සනත් ජයසූරිය, මාවන් අතපත්තු මේ අතරින් විශේෂිතම ක්‍රීඩකයන් වූ නිසාම ඔවුන්ට ඉක්මනින්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට අවස්ථාව ලැබුණා.

කෙසේ වෙතත් අර්ජුන-අරවින්ද වැනි ශේ්‍රෂ්ඨයන්ට සම කළ නොහැකි වුණත් අනාගතයේදී එවැනි ක්‍රීඩකයකු වීමට ඉඩ ඇති බවට ඉඟි කළ තරුණ ජවයක් පසුගියදා පාසල් ක්‍රිකට් පිටිය දෙවනත් කළා.

“පාකිස්තානය සමඟ තිබුණු අවසාන එක්දින තරගයේ පන්දු රකිද්දි අතේ බෝලෙ වැදිල මගෙ අත පැළුණා, එහෙම තියෙද්දිත් මම අත බැඳගෙන ඇවිත් ලකුණු 41ක් ගහලා මැච් එක දිනෙව්වා.” යනුවෙන් පැවැසුවේ පසුගියදා පැවැති අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගයකදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව ලකුණු 350ක් රැස්කරමින් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව අලුත් කළ වත්තල සාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු.

වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයෙක් ලකුණු 300 සීමාව පසුකර ඇත්තේ දශකයකටත් වැඩි කාලයකට පසුව වීමද මෙම කතා මාලාවට හේතු පාදක වී තිබිණි. මෙවැනි ලකුණු සංඛ්‍යාවක් කරා ළඟාවීම ලෙහෙසි පහසු නැත. ඒ සඳහා මනස එක්තැන්ව තබා ගැනීමද ඉතා වැදගත්ය.

මෙහිදී විශේෂිතම සිදුවීම වන්නේ ඔහු පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසෙන්නේ ලකුණු 56කට කඩුලු 5ක් වැටී ඇති අවස්ථාවක වීමය. එවැනි අවස්ථාවක නායකයකු වශයෙන් ඉනිම ගොඩනැඟීමට අනෙක් අන්තයේ පිතිකරු සමඟ හොඳ සන්නිවේදනයක් තබා ගැනීම පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ට පමණක් නොව ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ටද අමාරු කාර්යයකි. ශරීර ශක්තිය දෙවනුවට තබා මනසින් සුවිශේෂී කාර්යභාරයක් කළ අවිශ්ක හතරේ පහර 56ක් සහ හයේ පහර 3කින් තම ඉනිම වර්ණවත් කළේය.

පාසලේ ක්‍රිකට් ඇකඩමිය නැවත පටන් ගැනීමේ ආරංචිය සැලවූ පුංචි අවිශ්ක ක්‍රිකට් ක්‍රීඩාවට කුඩා කල පටන් දැක්වූ දැඩි ඇල්ම නිසාම වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රාථමික අංශය නිම වී නිවෙසට ගිය සැණින්ම තම මවුපියන්ට මෙම ආරංචිය දැන්වීය. අවිශ්කගේ මව වන නිලුක්ෂි හෙට්ටිආරච්චි කාන්තා වොලිබෝල් ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීමත් ඔහුගේ පියා වන අජිත් කුමාර ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කොට තිබීමත් නිසා ක්‍රීඩාවේ ඇති වැදගත්කම ඔවුන් හොඳින් හඳුනන නිසාත් අවිශ්කගේ ඉල්ලීම එදා සඵල විය.

වයස අවුරුදු 13න් පහළ සංචිතයේ පටන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කළ ඔහු වයස අවුරුදු 15න් පහළ දිස්ත්‍රික් කණ්ඩායමත් පළාත් කණ්ඩායමත් නියෝජනය කරමින් පළාත් කණ්ඩායමේ නායකත්වද දරා එම වසරේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානයද දිනා ගත්තේය. වයස අවුරුදු 15දීම තම පාසලේ 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ වරම් හිමිකර ගැනීමටද අවිශ්ක සමත්වීම කැපී පෙනිණි. වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරන අවසන් වසරේදී ශ්‍රී  ලංකා 15න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක මලයාසියාවේ පැවැති සිවුකොන් තරගාවලියේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 74ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය. එතැනින් ආරම්භ කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවිය වයස අවුරුදු 16න් පහළ ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායමද, වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමද නියෝජනය කළේය.

2019 ජුනි මාසයේ පාකිස්තානු 19 පහළ කණ්ඩායම සමඟ පැවැති එක් දින තරගයෙන් 19න් පහළ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්භ කළ අවිශ්ක තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ඉහළ දක්ෂතා දැක්වුවද මෙවර අවුරුදු 19 පහළ ලෝක කුසලාන සංචිතයට පැමිණීමේ භාග්‍යය අහිමිවීම ක්‍රීඩාව කරවන මහත්වරුන්ගෙන් විමසා බැලිය යුතු ප්‍රධානතම කරුණකි.

මෙවර සාන්ත අන්තෝනි 19න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍යද හිමිව ඇති ඔහුගේ (අවිශ්ක) සෙහොයුරාද (අරින්ද පසිඳු) සාන්ත අන්තෝනි විදුහලේ 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරා තිබේ.

“මම කැමැතිම ක්‍රීඩකයා බෙන් ස්ටොක්ස්. එයා ගේම් ෆිනිෂර් (තරග දිනවන්නෙක්) කෙනෙක්. එයාගෙ රෝල් එක තමයි මමත් පිට්ටනියෙදි කරන්නෙ. අවුරුදු 19න් පහළ පකිස්තානු පිල සමඟ තිබුණු අවසාන එක්දින තරගයේ පන්දු රකිද්දි අතේ බෝලෙ වැදිලා මගෙ අත පැළුණා, මම ඊටපස්සේ අත බැඳගෙන ඇවිත් ලකුණු 41ක් ගහල මැච් එක දිනෙව්වා. ඒක මගෙ ජීවිතේ අමතකම නොවෙන ඉනිමක්” අවිශ්ක එලෙස පවසමින් ‘මව්බිම’ සමඟ සම්බන්ධ විය.

“අවිශ්ක 350 ගහපු දවසේ මම එයා බැට් කරන්න පිට්ටනියට යන තැන ඉඳන්ම මැච් එක බැලුවා. එයාගේ තාත්තා විදේශයක හිටියත් එයා එහෙ ඉඳන් අවිශ්කගෙ මැච් බලනවා. මේ සතුට මට වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ දිනවල අවිශ්කට ගොඩක් අය සුබ පතනවා. එයාට ගෑනු ළමයින්ගෙනුත් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා”යැයි අවිශ්කගේ මව සිනාසෙමින් පැවැසුවාය.

“එයා පොඩි කාලේ ඉඳන් ක්‍රිකට්වලට ලොකු කැමැත්තක් තිබුණා. අපි කවුරුවත් එයාගේ ක්‍රීඩා ගමනට බාධා කළේ නෑ. ක්‍රිකට්වලට ලොකු ඇල්මක් තිබූ නිසාම අපි එයා ඉගෙන ගන්න කියලා බල කළෙත් නැහැ. එයා ගහන හැම මැච් එකම බලන්න මම යනවා. අවිශ්ක 19න් පහළ ජාතික කණ්ඩායමේ හොඳට සෙල්ලම් කළා. අවාසනාවකට වගේ එයාට 19න් පහළ ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. දක්ෂතා දක්වලත් කණ්ඩායමට තේරුණේ නැති නිසා එයා ඒ දවස්වල ගොඩක් මානසිකව වැටිලා හිටියේ. කුමාර සංගක්කාරත් උපුල් තරංගත් 19න් පහළ ලෝක කුසලානයකට සෙල්ලම් කළේ නැහැ. ඔයා ඒක ශක්තියක් කර ගෙන ඉස්සරහට යන්න කියලා අපි එයාගේ හිත හැදුවා.”

අධ්‍යාපනය ප්‍රධාන කරුණක් ලෙස පිළිගත් නිසා ශ්‍රී  ලංකාවේ බොහෝ මවුපියන් ක්‍රීඩාවෙන් තම දරුවන් අෑත් කිරීම බහුලවම සිදුවෙන කරුණක්. එහෙත් අවිශ්කගේ මවුපියන් අධ්‍යාපන රටාව ප්‍රධාන හේතු සාධකයක් බවට පත් නොකරමින් ක්‍රීඩා ගමන එළිපෙහෙළි කිරීම අනෙකුත් මවුපියන්ටද මහඟු ආදර්ශයකි.

අවිශ්කට කුඩා කළ සිටම ගුරුහරුකම් ලබා දුන් තම මවුපියන්, ක්‍රීඩා දිවියේදී තම හැකියාවන් මුවහත් කිරීමට උපකාර කළ සම්පත්, චානක, සෆ්‍රාස්, ෆාසි යන ගුරුවරුන්ට සහ ඔහුගේ අනුග්‍රහකයාටද ස්තුතිවන්ත වීමට අමතක නොකළේය. ඉදිරියේදී ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා රට වෙනුවෙන් සේවයක් ඉටු කිරීම ඔහුගේ ප්‍රධානතම පැතුමක් විය. 

 under the courtesy ofmawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka