Saturday, February 8, 2020

3 වැනිදා කළ විදුලි කප්පාදුව විදුලි ඉංජිනේරුවන්ගේ කුමන්ත‍්‍රණයක්... සූර්ය බලාගාරවලට ඉංජිනේරුවන් වැට බැඳලා....

විදුලි හිඟයක් මවාපාන්නේ හදිසි විදුලි මිලදී ගැනීම්වලට යන්නයි...
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරයි
සුගිය 3 වැනිදා කළ විදුලි කප්පාදුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ කුමන්ත‍්‍රණයක් බවට ‘විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය’ චෝදනා කරයි.
සෑම වර්ෂයකම මුල් මාස තුන ඇතුළත මෙවැනි විදුලි හිඟයක් මවා පෑම හදිසි විදුලිය මිලදී ගැනීමේ වුවමනාව ඉටුකර ගැනීම සඳහා කරන උපායක් බව හෙළි වී තිබෙන බව ද එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී වැඩිදුරටත් කතා කළ සංජීව ධම්මික මහතා මෙසේ ද කීවේය.

 විදුලි හිඟය නම් බිල්ලා මැවීම සඳහා නොරොච්චෝලේ බලාගාරයේ පළමු බලාගාරය ද නවත්වලා. පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී නඩත්තු කටයුත්තක් සඳහා බව පෙන්වමින් දින 90 කට මෙය නතර කළා. දැන් දින 150 කටත් කිට්ටුයි. තාම වැඩ නෑ. මේ නිසා ඉතා දීර්ඝ කාලයක් සඳහා මෙගා වොට් 300 ක් අහිමි කරලා. එම මෙගා වොට් 300 අහිමි වුණේ පළමු බලගාරය මාස 5 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා වසා දැමීම නිසායි. මෙම හිතාමතා විදුලි හිඟයක් නිර්මාණය කිරීමයි. නොරොච්චෝලේ බලාගාරයේ මෙගා වොට් 300 ක් මේ ආකාරයට අක‍්‍රීය කිරීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකර අදාළ ඉංජිනේරුවන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා විදුලිබල ඇමැතිවරයා වහා පියවර ගත යුතුයි. බලාගාර අත්තනෝමතික ලෙස අක‍්‍රීය කිරීමත් අඩු වියදම් බලාගාර ඉදිකිරීම පැහැර හැරීමත් ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ ඞීසල් ගිජුකම පෙන්වා දීමක්. සෑම හිටුප ලංවිම සාමාන්‍යාධිකාරිවරයකුම පෞද්ගලික අංශයේ විදුලි බලාගාරවල උපදේශකයන් වී ඉන්නවා. එසේ නැත්නම් ඔවුන් වක‍්‍රකාරයෙන් එම විදුලිබල සමාගම් හා සම්බන්ධතා පවත්වනවා. එපමණක් නොව ලංවිමෙහි වැඩ කරන ඇතැම් විදුලි ඉංජිනේරුවන් ද මෙම ඞීසල් සමාගම් හා සම්බන්ධතා පවත්වනවා. පුද්ගලික විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ යුතු නැහැ. එහෙත් මෙම විදුලි ඉංජිනේරුවන් විසින් අදාළ ගිවිසුම් හරහා පුද්ගලික බලාගාරවලට ලංවිම මුදලින් ඉන්ධන සැපයීමට එකඟ වෙලා. මේ නිසා ලංවිම මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ණය වී ඇති මුදල රුපියල් කෝටි 8500 කට ආසන්නයි. මෙම අවාසි සහගත ගිවිසුම් අහෝසි කිරීමට පියවර ගත යුතුයි.

 මේ වසරේදීත් මෙගාවොට් 300 ක පමණ විදුලි ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් කෙටිකාලීන පදනම මත ගැනීම සඳහා ලංවිම තීරණය කරලා. අනුමත දිගුකාලීන සැලැස්මට අනුව ඉදිකළ යුතු අවම පිරිවැය විදුලිබලාගාර ඉදිකිරීම 2015 වසරේ සිට නවතලා. වසරින් වසරට පෞද්ගලික අංශයෙන් අධික මිලට විදුලිය මිලදී ගැනීම පුරුද්දක් වශයෙන් කරගෙන යනවා. ලංවිම විසින් ඉදිකළ යුතු මෙගා වොට් 320 ක ඞීසල් බලාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කිරීමවත් අරඹා න ැහැ. එම බලාගාර ජාතික පද්ධතියට එක්වීමට නියමිතව තිබුණේ 2019 වසරේදීයි. එමෙන්ම මෙගා වොට් 100 ක සුළං බලාගාරයක් ද 2019 වසර වනවිට ඉදිකර ජනන කටයුතු ආරම්භ කළ යුතුව තිබුණා. රජයේ ආයතන සතු මෙගා වොට් 500 කට අධික ධාරිතාවකින් යුතු විදුලි ජෙනරේටර් ජාතික පද්ධතියට එක් කිරීම පැහැර හැරලා.

 ලංවිම විදුලිය කපන්නේ දහවල් කාලයේදී යි. එයින් පෙන්වා දෙන්නේ සූර්ය තාප බාලාගාර තිබුණා නම් දහවල් කාලයේදී විදුලිය කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයිය හැකියි. එහෙත් ලංවිම ඉංජිනේරුවන් විසින් සූර්ය බලාගාර ඉදිකිරීමට වැට බැඳලා. ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපතිවරයා මෙන්ම බහුතරයක් විදුලි ඉංජිනේරුවන් සිය නිවෙස්වල වහළ මත සූර්ය ‘පැනල්’ ඉදිකර ලංවිමට විදුලිය අලෙවි කරනවා. එහෙත් මහජනතාවට එවැනි පැනල් ඉදිකර ලංවිමට විදුලිය සැපයීම සඳහා අවස්ථාව දෙන්නේ නෑ. ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට ග‍්‍රාමීය කාන්තාවන්ගේ නිවෙස්වල සූර්ය ‘පැනල්’ ඉදිකිරීම සඳහා ලබාදුන් ඩොලර් මිලියන 50 ක ආධාරය කිසිදු වැඩක් නොගෙන අකර්මණ්‍ය කරලා. ඒ මඟින් ග‍්‍රාමීය නිවෙස්වල සූර්ය පැනල් 15000 ක් ඉදිකිරීම සඳහා ග‍්‍රාමීය ජනතාවට සහන ණය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබුණා. එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූවා නම් මේ වනවිට තවත් මෙගා වොට් 65 ක් ජාතික පද්ධතියට එක් වන්නට තිබුණා. එපමණක් සූර්ය බල ආයෝජකයන් විසින් ඉදිරිපත් කළ මෙගා වොට් 1400 ක ව්‍යපෘති සඳහා අනුමැතිය ලබාදීම ද ලංවිම විසින් ප‍්‍රතික්ෂේප කරලා. මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබුණා නම් අද අපට ඉන්දියාවට විදුලිය දීමට තරම් අතිරික්තයක් ජනනය කිරීමට හැකියාව තිබුණා.

 ඇති තරමට විදුලිය සපයාගැනීමට අවශ්‍ය ව්‍යාපෘති තිබියදී ඒවා අකර්මණ්‍ය කිරීම සැලසුම්සහගත දිගුකාලීන කුමන්ත‍්‍රණ. එපමණක් නොව ලංවිම සතු බලාගාර ද වරින් වර දිගුකාලීනව අකර්මණ්‍ය කිරීම ඇතැම් විදුලි ඉංජිනේරුවන්ගේ කූට උපක‍්‍රමයක්. තවත් පිරිසක් විසින් විදුලි බල පනතේ ඇද කුද පෙන්වා ආයෝජකයන්ගේ විදුලි ව්‍යාපෘතිවලට වැට බැඳලා. අවසානයේදී ඞීසල් මාෆියාව විසින් මෙරට විදුලි ජනනයේ රස කොටස හිමි කරගෙන. පුද්ගලික සමාගම් කිහිපයක් විසින් මෙරට විදුලි බල කර්මාන්තය මෙහෙයවනවා. මේ සහාසික ආපරාධ කරන විදුලි ඉංජිනේරුවන් වහාම ලංවිමෙන්
 ඉවත් කිරීමට පියවර නොගත හොත් ඉදිරි පස් වසරේ දී ද එකඳු බලාගාරයක් හෝ ඉදිවන එකක් නෑ.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka