Tuesday, February 25, 2020

"අපි කැමැත්තෙන් මැරෙන්නේ. ඒ ගැන කවුරුත්ම සැක කරන්න එපා.." - තමන්ට වඩා අවුරුදු 22ක් වැඩිමහල් නන්දනී සමඟ අනියම් පෙමක පැටලුණු තරංග, ඇයත් එක්කම ගෙල වැළලාගත් අභිරහස

මේ දෙදෙනා 'උඹ නොදකිං' කියාගෙන ආරවුලක් ඇති කරගන්නවා හෝ අසල්වැසියන්ට ඇසුණේ නැහැ.
 
සිවිල් නීතියට අනුව ස්ත්‍රීයක හා පුරුෂයෙක් නීත්‍යානූකූල අඹුසැමියන් වීමට නම් ඔවුන් රටේ පවතින සම්මත නීතියට අනුව විවාහ විය යුතුමයි.

එහෙත් ඉඳහිට හෝ අසම්මත ප්‍රේමයක් නිසා පොතේ නොව හිතේ අත්සන් කර පවත්වාගෙන යන සදාදරණීය ප්‍රේමය මතම පදනම් වූ බැඳීම් නිසා එක වහළ යට ජීවත් වන අඹුසැමියන් පිළිබඳව අසන්නට දකින්නට ලැබීමත් පුදුමයක් නොවේ.

මෙවන් හේතූන් තාවකාලික සැපතක් කාන්තාවන්ට හා පිරිමින්ට ඇති කළත්, මේ ප්‍රේම කතා බොහෝමයක් අවසන් වන්නේ ඛේදවාචක වලිනුයි.

පසුගියදා රාගම මහබාගේ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇලෙහිවත්ත ප්‍රදේශයේදී සියදිවි හානිකර ගත් අඹුසැමියන්ද පොතේ නොව හිතේ ආදරය තියාගෙන පවත්වාගෙන ගියේ අසම්මත ප්‍රේමයක් බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ දෙදෙනා වරදේ බැඳෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ආදර්ශයක්. මේ අනුවේදනිය සිද්ධිය මහබාගේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වූයේ මෙසේ යි.

මීට මාස කිහිපයකට පෙර රාගම මහබාගේ ඇලෙහිවත්ත ප්‍රදේශයේ බෝඩිං කාමරයකට නාඳුනන යුවළක් පදිංචියට පැමිණියා.

මෙම යුවළ දෙස බලන විට බිරිය සැමියාට වඩා වසර විස්සකින් හෝ විසිපහකින් වැඩිමල් බවක් නිවෙස් හිමියාට දකින්නට ලැබුණා.

කාන්තාව කිසියම් රෝගී තත්ත්වයකින් පසුවන බවද පැහැදිලි වූ අතර සැමියා නිරතුරුවම බිරියගේ ප්‍රතිකාර ගැනීම සඳහා ඇයව රැගෙන යන ආකාරයත් දකින්නට ලැබුණා.

මේ අඹුසැමියන් පදිංචිව සිටි බෝඩිං කාමරයේ හිමිකරුගේ සහායෙන් කම්කරු රැකියාවක් සොයාගත් සැමියා, නිවසේ සිටි සෑම විටම බිරිය නහවා පිරිසිදු කර රෙදිපිළිද දී සෝදා ඇය ප්‍රතිකාර සඳහා කැටුව යමින් ඉතාම සමඟියෙන් සහ සාමයෙන් ජීවත් වුණා.

මේ දෙදෙනා 'උඹ නොදකිං' කියාගෙන ආරවුලක් ඇති කරගන්නවා හෝ අසල්වැසියන්ට ඇසුණේ නැහැ.

ඒ පසුගිය 7 වැනි දිනයි. කාමරයේ හිමිකරු සවස හයට පමණ මෙම යුවළ පදිංචිව සිටි කාමරය වෙත ගොස් තරුණ සැමියාට කතා කළා. කීප විටක් පිළිතුරක් නොලැබුණු හෙයින් කාමර හිමියා මඳක් විපරම් කළ විට කාමරයේ දොරවසා නොමැති බව දුටුවා.

බාගෙට විවරව ඇතිව දොරෙන් කාමරයේ මේ අඹුසැමියන් නිදන ඇඳ සමීපයේ ඔවුන් දෙදෙනාගේම සිරුරු එල්ලලෙන අයුරු දුටු බෝඩිම් කාමර හිමියාට කරකියා ගත හැකි දෙයක් නොවුණා. ඔහු කෙළින්ම කතා කළේ මහබාගේ පොලිසියටයි.

වහා ක්‍රියාත්මක වූ මහබාගේ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කස්කුරිරත්න මහතා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය වූ බෝඩිං කාමරයට යන විට ද අඹුසැමියන් ඔවුන් පදිංචිව සිටි බෝඩිං කාමරයේ ගෙල වැළලාගෙන සිටිනු දැක ඒ පිළිබඳව සිය ජෙෂ්ඨ නිලධාරින් දැනුවත් කරනු ලැබුවා.

තයිලෝන් ලණුවක ආධාරයෙන් මේ දෙදෙනාම ගෙල වැළලාගෙන සිට ඇති අතර කාන්තාවගේ කකුල් දෙක ඇද විට්ටමේ ගැය ගසා තිබෙන අයුරුද පොලිසියට නිරික්ෂණය වුණා. ඒ අනුව ප්‍රථමයෙන් කාන්තාවගේ ගෙල සිරකර ඇය ඝාතනය කිරීමෙන් පසුව තරුණ සැමියා ඉන්පසු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගන්නට ඇතැයි පොලිසිය මුලින්ම සැක කළා.

ඒ අනුව එම ස්ථානය අපරාධ ස්ථානයක් සලකුණු කළ පොලිස් නිලධාරින් කැළණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරින්ද එම ස්ථානයට කැඳවනු ලැබුවා. කුඩාවට තැනූ නිවාස එක පෙළට පිහිටි ඇලෙහිවත්තේ පදිංචි අසල්වැසියන් කිහිප දෙනෙකු, මේ අඹුසැමියන් පිළිබඳව පොලිසියට පැවසුවේ මෙවැන්නක්.

"මේ ගෑනු කෙනා ආතරයිටීස් වගේ කකුල්වල අමාරුවකින් හිටියා. ඔය තරුණ පිරිමි පුද්ගලයා තමයි එයාගේ හැම වැඩක්ම කළේ. ගෙදර හැම වැඩක්ම කළේ ඒ ළමයා. එහෙම කරලා එයා වැඩටත් ගියා. ඒ දෙන්නා හරිම සමඟියෙන් ජීවත් වුණා. කිසිම මොහොතක ඔය දෙන්නා කෑ කෝ ගහනවා ඇහුණේ නෑ. ඒ තරුණ පිරිමි පුද්ගලයා තමයි එයාගේ කැත කුණු ඇදලා කෑම බීම ගෙනත් දීලා සියලුම දේ කළේ..."

"පසුගිය දවසක බෙහෙත් ගන්න මේ දෙන්නා සායනයකට ගියාම දැන් මේ රෝගය අංශබාග තත්ත්වයට හැරිලා ඉවරයි, ඒ නිසා ඉක්මනින්ම කාන්තාව රෝහලේ නවත්වන්න කියලා දොස්තර මහත්තයා කියලා තිබුණා. ඒත් කොහොම හරි මේ කාන්තාව ඉස්පිරිතාලේ නැවතුණේ නැහැ.."

"සායනයට ගිහින් ඇවිත් දවස් දෙකකින් පස්සෙ තමයි මේ දෙන්නට මේ අපරාධය සිද්ධ වෙලා තියෙන්නේ.."

"හැම ලෙඩකටම වගේ බෙහෙත් හේත් තියෙන කාලේ මේ වටිනා මනුස්ස ජීවිතයක් නැතිකරගත්තේ අපරාදේ.."

මේ අඹුසැමියන්ට අත්වූ ඉරණම ගැන අසල්වැසියන් පසුවන්නේ කම්පාවෙන්.

මේ දෙදෙනා ජීවිතයෙන් සමුගැනීමට පෙර සුදු කොළයක කළු පැහැති අකුරෙන් තබන ලද සටහනක් ඔවුන්ගේ ඇඳ මත තිබී පොලිසියට හමුවුණා.

"අපි කැමැත්තෙන් මැරෙන්නේ. ඒ ගැන කවුරුත්ම සැක කරන්න එපා.." යැයි එහි සඳහන්ව තිබුණා. ඒ අනුව මෙය දෙදෙනාගේ එකඟතාව මත වූ සියදිවි නසාගැනීමක් බවටයි පොලිසිය අනුමාන කරන්නේ.

මේ අතර මේ අඹුසැමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඔවුන්ගේ මෘත දේහයන් පවුලේ ඥාතින්ට බාර දිය යුතු බැවින් ඔවුන්ගේ පවුල් පසුබිම ගැන සෙවූ පොලිසිය මිය ගිය තරුණයාගේ විවාහ බිරිය ලෙස නම සඳහන් වූ කාන්තාවට මෙය දැන්වීමට පියවර ගත්තා. රාගම රෝහලේ මෘතශරිරගාරයට පැමිණි මියගිය තරුණයාගේ නීත්‍යානූකූල බිරිය එහිදි සිය සැමියාගේ දේහය හඳුනා ගත්තා.

ඒ අනුව මෙලෙස සියදිවි හානිකරගත් තරුණයා 33 හැවිරිදි විවාහයෙක් බව හඳුනා ගැණුනා. ඔහු වැලිපනැන්න මීගවත්ත ජනපදයේ පදිංචිකාරුවෙකු වන 'තරංග රුවන්කුමාර' නැමති අයෙකු බවටයි හෙළි වුණේ.

ඔහුගේ නීත්‍යානූකූල බිරිය 30 හැවිරිදි කාන්තාවක්. එම විවාහයෙන් ඔවුන් දෙපළට අවුරුදු 10ක දියණියක් හා 4 හැවිරිදි පුතකු සිටිනවා. ඉකුත් 2008 වසරේදී ඔවුන් නීත්‍යානූකූලව විවාහ වී ඇති බවද හෙළිව තිබෙනවා. පසුව සැමියා කරමින් සිටි රැකියාව අහිමි වීමෙන් පසුව ඔහු රැකියාවක් සොයා කොළඹ පැමිණි බවත්, ඉන් පසු වසර දෙකක කාලයම ඔහු නිවසට නොආ පවත් බිරිය පොලිසියට පවසා තිබුණා.

තරංග සමඟ මියගිය කාන්තාව 55 හැවිරිදි 'දොන් හේමා නන්දනී' නැමැත්තියක් බවද හඳුනා ගත්තා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මියගිය තරුණයාගේ දේහය ඔහුගේ බිරියටත් කාන්තාවගේ දේහය ඇගේ පුතාටත් බාර කෙරුණා.

තමාට වඩා වයස අවුරුදු 22ක් වැඩිමහල් කාන්තාවක් සමඟ පුරා වසර දෙකක් අඹුසැමියන් ලෙස පවුල් කෑ 33 හැවිරිදි තරුණයා තමාට දාව උපන් දරුවන්ද අමතක කරමින් නොගැළපෙන ප්‍රේමයක් වෙනුවෙන් සියදිවි හානි කරගත්තේ ඇයිද යන්න බොහෝ දෙනෙකුට තවමත් ප්‍රශ්නයක්.

ලෝකය යනු කුමක් දැයි හඳුනාගැනීමට පෙර අසරණ දරු දෙදෙනෙකුට පිය සෙනෙහස සඳහටම අහිමි වී ගොස් තිබෙනවා.

එස්. එච්. කුසුමලතා

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka