Tuesday, December 31, 2019

නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය පුංචි දිලීෂාගේ හිස සොහොනෙන් මතුවුණේ කොහොමද? ගමම භීතියට පත් කළ අබිරහස

අප දැන් පසු කරමින් ඉන්නේ විද්‍යාවත්, තාක්ෂණයත් අතිශය දියුණු තත්ත්වයකට පැමිණ ඇති 21 වැනි ශතවර්ෂයයි. සඳ මතුපිට ජනාවාස ඇති කරන්නට පවා පිඹුරුපත් සැකසෙමින් ඇති අවදියක, යල් පීනූ අවිද්‍යාත්මක මිථ්‍යා විශ්වාසවල පිහිට පතනා අයද තවමත් සමාජයේ අඩු වැඩි වශයෙන් සිටීම කණගාටුවට කරුණක්.

මෙවැනි මිත්‍යාදෘෂ්ටිකයින් ඔවුන්ගේ පුහු අරමුණු ඉටුකරගැනීමට වෙනුවෙන් සිදුකරන කටයුතු ඇතැම්විට මිනිස්කමටත්, සදාචාරයටත්, නොගැළපෙන තරම්. එවන් පිරිසක් විසින් සිදුකරන්නට ඇති යැයි සැලකෙන මිනිස්කමට නිගාදෙන අවමන් ක්‍රියාවක් පිළිබඳව පසුගිය සතියේ වාරියපොළ පොලිස් වසමෙන් වාර්තා වුණා.

වාරියපොළ පොලිස් වසමේ බණ්ඩාරකොස්වත්ත, හිඳගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි දිලීෂා නෙත්මිණි
නවෝද්‍යා දැරිය ඇගේ මවගේ හා පියාගේ සුරතලය මැද ලොකු මහත් වුණා.

හිඳගහවැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගැනුම ලැබූ 14 හැවිරිදි දිලීෂාගෙත් ඇගේ නව හැවිරිදි සොහොයුරාගෙත් කෙළි කවටකම්වලින් ඔවුන්ගේ නිවස නිරන්තරයෙන් කළඑළි වී තිබුණා.

එලෙස සතුටින් හා සිනහවෙන් පිරී තිබූ දිලීෂාගේ නිවසට කණකොකා හඬන්නට ගත්තේ පසුගිය සතියේ සිටයි.

උපන්ගෙයි රෝගයක් නොතිබුණු දිලීෂාට උණ රෝගයක් වැළඳෙන්නේ පසුගිය 7 වැනිදායි.

වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත් නමුත්, දිලීෂාට වැළඳී තිබූ උණ රෝගය මොහොතින් මොහොත උත්සන්න වුණා. සුව අතට හැරීමේ කිසිම සලකුණක් මවුපියන්ට දැකගත හැකිවූයේ නැහැ. ගැහෙන්නටත්, වෙව්ලන්නටත්, පටන්ගත් දිලීෂාගේ සිරුර මත අතක් තබාගෙන සිටීමට පවා නොහැකි තරමට රත් වී තිබුණා.

ඒ නිසාම ඇගේ මවුපියන් විසින් ඇය කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කරන්නට කටයුතු කළා.

වෛද්‍යවරුන් විසින් දිලීෂාට කඩිනම් ප්‍රතිකාර ලබා දුන් අතර ඇගේ රෝගී තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු අනාවරණය සඳහා පරීක්ෂණ කිහිපයක්ද සිදු කෙරුණා.

සිය පණ නල රැකගැනීම වෙනුවෙන් කුරුණෑගල රෝහලේ ඇඳක් මත දෙදිනක් තිස්සේ මහා සටනක් කළ දිලීෂා ඉකුත් 12 වැනිදා මාරයා හමුවේ පරාජය වුණා.

වසර 14ක් තිස්සේ තමන් රැකබලාගත් මවට පියාට සදාකාලික වේදනාවක් ඉතිරි කරමින් දිලීෂා සඳහටම දෑස් පියාගත්තා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ දීලිෂාගේ "මොළය ඉදිමීම" නිසා ඇගේ මරණය සිදුව ඇති බවයි.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවසට රැගෙන ආ දිලීෂාගේ දේහය දෙදිනක් තිස්සේ නිවසේ තැන්පත් කර තිබීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා පස්වරුවේ මුකලන්යාය සුසාන භූමියේදී මිහිදන් කෙරුණා. දේහය මිහිදන් කළ නිවස බලා ගිය දිලීෂාගේ ඥාති පිරිස ඇගේ දාන මාන කටයුතු වෙනුවෙන් සුදානම් වුණා.

පසුදිනට පහන් වුණා. එදින උදෑසන යම් කටයුත්තක් සඳහා සුසාන භූමිය අසළින් ගිය ගැමියකු නිකමට මෙන් දිලීෂා මිහිදන් කළ වළ දෙස බැලුවා. ඔහුට යම් අමුත්තක් දැණුනා. පෙරදින පස්වරුවේ පස් දමා වසා මනා ලෙස වසා තිබූ දිලීෂාගේ සොහොනේ පස් විසිරුවා ඇති බවක් ඔහුට ඈත තියාම පෙණුනා.

වළ ළඟට ගොස් එබිකම් කර බැලූ ගැමියාට සියොළඟ සීතල වී යන්නාක් මෙන් දැණුනා. පෙරදින වළ දැමූ දිලීෂාගේ මෘත දේහය කිසිවකු විසින් ගොඩට ගෙන ඇති අයුරු දුටු ඔහු විලාප දෙන්නට පටන් ගත්තා.

"අනේ දෙවියනේ! මේ මොන අපරාධයක්ද?"

දීලිෂාගේ නිවසේ අයට ඔහු විසින් මේ ගැන දැනුම් දීමෙන් පසු ඔවුන් හිඳගහවැව ග්‍රාම නිලධාරිනියටත්, ඇය හරහා වාරියපොළ පොලිසියටත් පැමිණිලි කළා.

වහා එතැනට ගිය පොලිස් නිලධාරින් මුකලන්යාය සුසාන භූමියේ ආරක්ෂාව තර කර මහේස්ත්‍රාත්වරයා එහි කැඳවන්නට කටයුතු කළා.

දිලීෂාගේ මිනී වළෙන් ඇගේ මුහුණ පමණක් උඩට මතුවී තිබුණු අතර සිරුරේ සෙසු සෑම කොටසක්ම පස්වලින් වැසි ගොස් තිබුණා. මේ නිසාම එහි රැස්ව සිටි පිරිස් විවිධ අනුමාන හා අදහස් පළකිරීමට පටන් ගත්තා. බොහෝ පිරිස් අදහස් පළ කළේ දිලීෂාගේ දේහය ඉවතට ඇද කිසියම් පිරිසක් මිනී පෙට්ටිය රැගෙන ගොස් ඇති බවයි.

එලෙස ගම්වාසීන් අතර විවිධ අදහස් පළ වෙද්දි මුකලන්යාය සුසාන භූමියට පැමිණි වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතා ස්ථානීය පරීක්ෂණය ආරම්භ කළා. මූලික නිරික්ෂණයන් අවසන් කළ මහේස්ත්‍රාත්වරයා පස් ඉවත්කර දේහය ඉවතට ගන්නා ලෙස නියෝග කළා.

ගම්මුන් කීපදෙනෙකු විසින් දිලීෂාගේ මිනීවල හෑරීම ආරම්භ කළා. වැඩි වෙලාවක් යන්නට පෙරම උදලු තලයක් ඩොක් හඬ නඟමින් යමක වැදුණු අතර රැස්ව සිටි පිරිස මවිතයට පත් කරමින් තවත් මොහොතකින් පසුව මිනී පෙට්ටියද මතු වුණා. ඒ සමඟම දිලීෂාගේ මිනී පෙට්ටිය සොරාගත් සැකයද පුස්සක් බවට පත්වුණා.

මිනී වළෙහි පස් ඉවත් කිරීමෙන් පසුව දිලීෂාගේ සිරුර සහිත පෙට්ටිය සම්පූර්ණයෙන්ම මතු කර ගත හැකි වුණා. මිනී පෙට්ටිය කපා එම ස්ථානයෙන් සිරුර එළියට ඇද ඇති ලකුණු එහිදී දැකගත හැකිවුණා. දේහයේ හිස පමණක් එළියට පෙනෙන ලෙස තබා, බෙල්ලෙන් පහළ කොටස වැසී යන ලෙස නැවත පස් පුරවා වසා දමා ඇති අයුරුදු පෙනෙන්නට තිබුණා.

මිනීපෙට්ටි සොරකමක් පිළිබඳ ප්‍රදේශවාසීන් අතර ඇති වූ සැකය නිවැරදි නමුත් හිඳගහවැව ගම්මුන් දැන් සැකකරන්නේ යම් කිසි යාග හෝම කටයුත්තක් උදෙසා දිලීෂාගේ සිරුරට මෙවන් අවමානයක් කිසියම් පිරිසක් විසින් සිදුකරන්නට ඇති බවයි.

පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු දේහය යළි මිහිදන් කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබුවා.

දිලීෂාගේ දේහයට සිදු කර තිබූ 'තිරිසන් ක්‍රියාව' කුමන අරමුණකින් සිදු කළ එකක්දැයි හෙළිකරගැනීම සඳහා වාරියපොළ පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාර රත්නායක

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka