Sunday, November 24, 2019

මම එජාපෙ ජනපතිවරණ ව්‍යාපාරය අඩපණ කළේ නෑ- රනිල් වික්‍රමසිංහ

තමා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ව්‍යාපාරය අඩපණ කිරීමට කටයුතු කළා කියා පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පක්ෂයේ අනාගතය ගැන සිතා ජයග්‍රහණය කළ හැකි නව නායකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ 22 සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

ජනාධිපතිවරණයේ දී සිරිකොත මන්දිරයත් පක්ෂයේ යාන්ත්‍රණයේත් කළ සේවයට මා සියලු දෙනාට ස්තූතිවන්ත වනවා. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේ දී අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත්
ප්‍රේමදාස මහතා මම යෝජනා කළා. අපි එතුමා පත් කිරීමේ යෝජනාව පිළිඅරගෙන අනිත් පක්ෂ සමඟ මේ මැතිවරණයට ගියා. මේ ඡන්ද ව්‍යාපාරය සඳහා සිරිකොත මන්දිරය විශාල සහයෝගයක් ලබාදුන්න බවට මට සහතික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරය අඩපණ කළායි කියන චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මගෙන්වත් සිරිකොත තුළින්වත් එහෙම දෙයක් සිදු වුණේ නෑ. අපේ ප්‍රධාන සාමාජිකයන්ට ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට එක එක වගකීම් භාර දුන්නා.

මා භාර ගත්තේ උතුරු නැඟෙනහිර ඡන්දයි. ඒ ඡන්ද ප්‍රතිඵලය වැඩි කරන්න මට හැකි වුණා. ඒත් අවාසනාවකට දකුණු පළාත් හතේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. එය තමයි පරාජයට හේතු වුණේ. සමහර දිස්ත්‍රික්ක අපි ජයග්‍රහණය කළාට සමස්තයක් ලෙස අපි පරාජය වුණා. දැන් අපිට පෙනෙන හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම, විශාල සංවර්ධනයක් ඇති කිරීම, නීතිය හා සාමය ඇති කිරීම, සමාජ සේවා දියුණු කිරීම යන කරුණු එකකින්වත් අපි බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබුණේ නෑ.

එක්සත් ජාතික පක්ෂයට සිංහල, බෞද්ධ පදනම අහිමිවීම පිළිබඳ අපි සොයා බැලිය යුතුයි. මීට පෙර අපිට එය සිදුවී නෑ. ඒ පිළිබඳ විශේෂයෙන්ම අපි සොයා බැලිය යුතුයි. මේ නිසා අපි අනාගත තීරණය ගැනීමත් සමඟම මේ ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයක් කිරීමට අවශ්‍යයි. විග්‍රහයක් මගින් අපිට ඉදිරියට යා හැකියි. අපි මේවා පිළිබඳ එකිනෙකාට ඇගිලි දිගු කර ගැනීමෙන් ඵලක් වන්නේ නෑ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට මූල්‍ය කටයුතු පිළිබඳ වගකීමක් තිබුණේ නෑ. එහෙම චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා පක්ෂය පිළිබඳ චෝදනා කරනවා නම් ඒ පිළිබඳ ඒ ගැන විභාග කර ඒවා අසත්‍ය නම් ඒ පිළිබඳව තදින් ක්‍රියා කරන්න තිබෙනවා.

මේ අවස්ථාවේ අපි අනාගතය ගැන සිතිය යුතුයි. පක්ෂයේ අනාගතය ගැන සිතා නව නායකයන් අපි ඉදිරිපත් කිරීමට තිබෙනවා. ඒ වගේම මේ විග්‍රහය අනුව අපි ඒ අයට නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න භාරදිය යුතුයි. එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ පරිවර්තනය එතකොට අවසන් වෙනවා. අපිට බය නැතිව එම නායකත්වය සමඟ ඉදිරියට යෑමේ අවස්ථාව තිබෙනවා. බෞද්ධයකු හැටියට අපිට තිබෙන්නේ යම්කිසි වරදක් සිදුවුණොත් ඒ පිළිබඳ ඇගිල්ල දිගු කිරීම නොවෙයි. බෞද්ධයන් ලෙස එම වරද වටහාගත යුතුයි. එය වටහාගත් පසු එම වරද නිවැරැදි කරන්න අපි පියවර ගැනීමට තිබෙනවා. එවැනි නිවැරැදි බෞද්ධ ප්‍රතිපත්තියක් වටහාගත් විට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අපි සංඝරත්නයේ ආශිර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් ලෙස ඉදිරියට යමු. මේ අවස්ථාවට අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක මහත්වරුද එක්වූහ.

අසේල ලියනගේ
under the courtesy of dinamina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka