Thursday, November 14, 2019

"මේකී නිසානේ උඹ නහින්නේ.. මේකි මට නැත්තම් උඹටත් ඕනි නැහැ.." - සිය බිරිඳ වූ මධූෂාගෙන් පළිගන්න, කුළුදුලේ උපන් සිඟිති දියණිය පරලොව යැවූ චතුරට අවසානයේ අත් වූ ඉරණම

මධූෂා පදිංචිව සිටියේ තෝරකොලයායේයි. චතුර හෙල්වල පදිංචිකරුවෙක්. ස්ථිර රැකියාවක් නොකළ චතුර නිතරම මිද්දෙණිය නගරයේ ගැවසුණා. නගරයේ රවුම් කඩය අසළ රැඳෙමින් මිතුරන් හා කාලය ගත කරන බොහෝ අවස්ථාවල නිවසට බඩු බාහිරාදිය මිලදී ගැනීමට නගරයට එන මධූෂා චතුරට හමු වනවා.
 
මධූෂාගේ මව හා පියා සිටියේ විදෙස්ගතවයි. මේ නිසා ඇයට යම් තරමක නිදහසක් තිබුණා.

තමන් දෙස ඕනෑකමින් බලන චතුර වෙත මධූෂාගේ සිත යන්නේ ඔය අතරයි. මුලින් වචනයක් දෙකක් හුවමාරු කරගත් දෙදෙනාගේ බැඳීම ටිකෙන් ටික මෝරද්දි මධූෂාට චතුර නැතුවම බැරි වුණා. මවුපියන් විදේශගතව සිටි නිසා ඇයට වැඩිහිටියන්ගේ ද විරෝධයක් එල්ල වූයේ නැහැ.
 
ඒත් මධූෂා ඒ වන විට බාලවයස්කාරියක්. මධූෂා යම් තරමකට අධ්‍යාපනය ලැබුවද චතුරද එවැන්නෙක්
නොවෙයි. නගරයේ රැඳෙන මිතුරන් සමඟ ගංජා ඉරීම මෙන්ම මත් වතුර පානයට ද චතුර ඇබ්බැහි වී සිටියා. සුදු කෙළිය ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වුණා.
 
චතුරගෙත් මධූෂාගෙත් බාලවයස්කාර ප්‍රේමය දෙපාර්ශවයේම මවුපියෝ දැන සිටි නමුත් එය නතර කරන්නට ඔවුන්ට හැකි වුයේ නැහැ. අවසානයේ දෙපාර්ශවයේම වැඩිහිටියෝ මේ ගැටවර ප්‍රේමයට ආශිර්වාද කළ අතර අනාගතයේදී දෙදෙනාට විවාහ වීමට ඉඩ සලසා දෙන බවත්, ඒ සඳහා නිසි වයස පැමිණෙන තුරු ඉවසා සිටින ලෙසත් වැඩිහිටියන් උපදෙස් දුන්නා.
 
කාලයාගේ ඇවෑමෙන් චතුර මධූෂාගේ නිවසේ බින්න බැස්සා. ඒ මධූෂාගේ රට සිටින නැන්දම්මාගෙත් මාමාණ්ඩිගෙත් කැමැත්ත මතයි.
 
ඒ වන විට ඔහුට රැකියාවක් තිබුණේ නැහැ. මධූෂා හා විවාහ වුවද ඔහුට පවුල නඩත්තු කිරීමට රැකියාවක් හොයා ගැනීමට ද එතරම් උවමාවක් වූයේ නැහැ. ඊට හේතුව වූයේ මධුෂාගේ මව පිටරට සිට මධූෂාට මුදල් එව්ව නිසායි. ඔහු එම මුදල්වලින් මිතුරන් හා කා බී සතුටු වුණා.
 
මෙලෙස තම අවශ්‍යතාවයන් උදෙසා මුදල් ලැබෙද්දි ඒවායේ අගයක් චතුරට දැණූනේ නැහැ. මිතුරන්ද නිතර ඔහුගේ නිවසට ආ ගිය අතර මෙය තමන්ට මහා කරදරයක් බව මධූෂා චතුරට කීවත් පසුව ඇය එයට හුරු වුණා.
 
ටිකෙන් ටික චතුරගේ ගති පැවතුම්ද වෙනස් වුණා. ඒ අතර මධූෂා ගැබිණියක් බවට පත් වුණා. මවුපියන් විදේශගතව සිටි නිසා ඇයට දරුවා රැක ගැනීමේ උපදෙස් ලැබුණේ වැඩිහිටි පාර්ශවයෙන්.
 
දරුවා නිසාම ඇය ඉන්පසු වඩාත් පරිස්සම් වුණා.
 
දින වකවානු හරියද්දි මධූෂා දරුවා බිහි කළා. දියණියට නදිත්‍යා ලෙස නම් තැබූ අතර ඇය වැඩි කාලයක් ගත කළේ කුළුදුල් දරුවා සමඟයි. මේ නිසා ඇයට චතුර ගැන සොයන්න කාලයක් තිබුණේ නැහැ. මෙය චතුරට ඉවසුම් දුන්නේ නැහැ.
 
බිරිය තමා ගැන සොයා නොබැලීම ගැන උරණ වූ චතුර මධූෂාට බැන වදින්නටත් පහර දෙන්නටත් පටන් ගත්තා.
 
සිය දියණිය දවසින් දවස ලොකු මහත් වෙද්දි චතුරගේත්, මධූෂාගෙත් කැදැල්ල ටිකෙන් ටික විනාශ වෙන්නට පටන් ගත්තා.
 
දෙදෙනා අතර ආරවුල් නැති දවසක් නොමැති තරම් වුණා. චතුරද දිනෙන් දින තදින් මත්පැන් පානයට ඇබ්බැහි වුණා. අවසානයේ මේ ආරවුල් පොලිසිය දක්වාම දුර දිග ගියා. මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා දෙදෙනාටම දැඩි ලෙස අවවාද දුන්නා. චතුරට යළි මධූෂාගේ නිවසට යෑම තහනම් වුණා. ඒ දෙපිරිස අතර සාමය කඩ වී මිනීමරා ගැනීමක් වෙතැයි සැක කළා නිසාවෙනුයි.
 
"මෙයා කිසිම තේරුමක් නැතුව මාව සැක කරනවා. මට නිතරම ගහනවා, බනිනවා. මට මෙයත් එක්ක ජිවත් වෙන්න බෑ සර්. මට මෙයාගෙන් දික්කසාද වෙන්න ඕනි. මට මෙයා එපා එපාමයි.."
 
පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ ඇය සිය තීරණය ප්‍රකාශ කළත් චතුරගෙන් දික්කසාද වීමේ උවමනාවක් ඇයට තිබුණෙත් නැහැ.
 
"තමුන් අපි කියන දේ අහන්නේ නැත්තම් උසාවි දාලා නඩු දානවා.." ස්ථානාධිපතිවරයා චතුරට එලෙස කීවා.
 
"අනේ එහෙම කරන්න එපා සර්. මම මීට පස්සෙ මෙහේ යන්නේ නැහැ. ඒත් සර් මට මගේ දරුවා බලන්න ඕන.."
 
චතුරගේ කතාවට පොලිස් ස්ථානාධිපතිවරයාටද කිසියම් සංවේදී බවක් ඇතිවුණා. ඔහු දෙපාර්ශවයේම ඥාතියෙකු ගෙන්වා චතුරට දරුවා බල්නනට ඉඩකඩ සලසා දෙන ලෙස ඔහු පැවසුවා.
 
"තමන්ට දරුවා බලන්න ඕන නම් ගෙදර ගේට්ටුව ළඟට යනවා. එතකොට දරුවා ගෙනත් දේවී.."
 
ඊට මධූෂාද කැමති වුණා. පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව චතුර හෙල්වල දමිනිය වත්තේ සිය මහ ගෙදර පදිංචියට ගිය අතර මධූෂා දියණිය ද රැගෙන සිය නිවසට ගියා. මහ ගෙදරට ගිය චතුර ගමේ තරුණයින් සමඟ රැඳෙමින් යාළුවන්ගේ නිවෙස්වලද කාලය ගත කළේ පෙර පරිදිමයි. තමාට එන වේදනාව කේන්තිය ලැජ්ජාව වසා ගන්නට ඔහු රිසිසේ මතට ඇබ්බැහි වුණා.
 
නිවසන් පිටව ගිය චතුර දිනපතාම වාගේ දරුවා බැලීමට තෝරකොලයායේ මධූෂාගේ නිවසට ආවා. ඒ සවස් කාලයේදියි. ඔහු ඇගේ නිවෙසේ ගේට්ටුව අසලට පැමිණ කතා කළ විට මධුෂාගේ බාප්පා දරුවා රැගෙන ගොස් වතුර අතට දෙන අතර ටික වෙලාවක් දරුවා සුරතල් කරන චතුර නැවත දරුවා බාප්පා අතට දී සිය නිවස බලා යෑම සිරිතක් කර ගත්තා.
 
මෙලෙස ගෙවී ගියේ සති දෙකක්. ඒ 2014 ජනවාරි පහළොස් වනදායි. මත්වතුරෙන් සහ ගංජාවලින් මත්වී සිටි චතුරට දරුවා මතක් වන විට වේලාව රෑ අට ද පසුවී තිබුණා. ඒ සිතුවිල්ලත් සමඟම ඔහු මධූෂාගේ නිවසට ආවා. ඒ සිය මිතුරෙකුද සමඟ මෝටර් සයිකලයකින්.
 
"උඹ පලයන්.. මම කෙල්ල බලලා එන්නම්. මම ටිකක් පරක්කු වෙනවා. උඹ පලයන්.."
 
චතුරගේ කීම ඇසූ මිතුරා මෝටර් සයිකලයෙන්ම පිටව ගියා. ඒ වන විට මධූෂා සිටියේ දරුවා සමඟ නින්දට යාමේ අදහසිනුයි. චතුර නිවසට පැමිණ ඇති බව දත් ඇය දැනගන්නේ බාප්පා ඒ බව කීව නිසයි.
 
"දරුවට සීතල හැදෙයි. ඇඳුමක් අන්දලා දීපන්.."
 
වැහි බීරුමක් පරිසරය පුරා පැතිරී ඇති සීතලටත් ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුමකින් දියණිය සැරසූ මධූෂා ඇය බාප්පා අතට දුන්නා. දරුවා රැගෙන පැමිණි බාප්පා මාස නවයක් වයසැති සිඟිත්තිය චතුර අත තැබුවා. චතුර දියණිය සුරතල් කරන්නට වුණා. චූටි සිඟිත්තිය සිනා සළමින් දෑත් දෙපා ගැසුවේ පිය සෙනෙහස හඳුනාගත් නිසා වන්නට ඇති. චතුර ඇයව තවත් හුරතල් කරමින් බාප්පා දෙසත් දියණිය දෙසත් වරින් වර බැලුවා. චතුරට සිය දියණිය සුරතල් කරන්නට ඉඩ දී බාප්පා මඳක් එහාට ගියා පමණයි.
 
චතුර එක්වරම සිඟිත්තිය ද රැගෙන ඒ අසළ ඇති රක්ෂිතය දෙසට ගියා. ඝන අන්ධකාරය නිසා බාප්පාටද එය හරි හැටි පෙණූනේ නැහැ.
 
බාප්පාගේ ප්‍රමාදය ගැන සොයා බැලූ මධුෂාට දැනගන්නට ලැබුණේ චතුර දරුවාද රැගෙන ගොස් ඇති බවයි. මතින් සප්පායම් වී සිටි චතුර ඒ විටත් දරුවා රැගෙන දිව යන්න වුණා.
 
මඳ දුරක් ගිය චතුර හති වැටි එක තැනක නතර වුණා. පපුවට තුරුලුව සිටි සිඟිත්තියට පිය සෙනෙහසට උණුසුම්ව නින්ද ගොස් තිබුණා.
 
දියණිය දුටු චතුරගේ සිතට ආවේ වෛරීය සිතුවිල්ලක්.
 
"මේකී නිසානේ උඹ නහින්නේ.. මේකි මට නැත්තම් උඹටත් ඕනි නැහැ.."
 
චතුර එසේ සිතන්නට ඇති. එසැණින් ඉණේ තිබූ කුඩා පිහිය සිඟිත්තාගේ ගෙලට තැබූ ඔහු එය එක්වරම පැත්තකට ඇද්දා. සිහින් ලේ ධාරාවන් චතුරගේ ඇඟටද විසි වුණා. තමන්ට ජාතකව බිහිවූ තම කුළුදුල් දියණිය නිසොල්මනේ බිම ඇද වැටෙනු චතුර බලා සිටියා. මොහොතක් ඇය දෙස බලා සිටි ඔහුද එතැනම වාඩි වුණා. චතුරගේ මත් ගතිය ඒ වන විටත් පහව ගොස් තිබුණේ නැහැ. ඝන අඳුරෙන් මුළු පළාතම වෙළි තිබුණා.
 
මාස නවයක දැරිය මෙලොවින් තුරන් කළ පාපතරයාට ඉන් පසුව යමක් සිතුණා.
 
"මමත් ජිවත් වෙලා වැඩක් නැහැ.."
 
එසේ සිතූ ඔහු මෙතෙක් සඟවාගෙන සිටි කඹයද ගෙන යාබදව තිබූ තේක්ක ගසට නැග්ගේ ගෙල වැළලා ගැනීමේ අදහසිනුයි. ඔහු ගසක නැගි දිවි තොර කරගන්න හැදුවත් සිදු වූයේ කඹය සමඟ අත්ත කැඩී බිම පතිත වීමයි.
 
මරණ බියෙන් බිරාන්තව සිටි ඔහු බිම දිගා වුණා.
 
චතුර දරුවා රැගෙන ගියත් නැවත දරුවා ගෙනත් නොදීම ගැන මධූෂාට මහත් බියක් දැණුනා.
 
ඒ සමඟම මධූෂාගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණා. ඇය එය පරීක්ෂා කළා. එය එවා තිබුණේ නිවස අලස හිතවතියක්.
 
"අක්කේ.. චතුර ළමයත් අරන් උඩහට දුවනවා මම දැක්කා. ඇයි කරදරයක්ද?"
 
එය දැකීමෙන් මහත් කලබල වූ ඇය චතුරට ඇමතුමක් ගත්තා.
 
"ළමයට කිරි දෙන්න ඕන. ඉක්මනට දරුවා ගෙනත් දෙනවා..."
 
චතුර ඊට පිළිතුරු දුන්නේ පරුෂ වචනයෙන්.
 
"මට කිරි එරිලා. ළමයට බඩගිනිත් ඇති ළමයා ගෙනත් දෙනවා.."
 
"තොට කිරි එරිලා නම්.... තෝම... බීපිය......."
 
එසේ කී චතුර දුරකථනය විසන්ධි කළා. ඉන්පසු ඇය කිහිප වරක්ම ගත්තත් දුරකථනය ක්‍රියා විරහිතව තිබුණා.
 
"මගේ දරුවා හොයලා දීපල්ලා,..." මධූෂා මහා හඬින් කෑ ගැසුවා. බාප්පාද සිටියේ තැතිගැන්මකින්. ඉන් අනතුරුව ඇය සිය බාප්පාත් ඥාති සහෝදරයාත් සමඟ ඒ අවට දන්නා හඳුනන නිවෙස්වලට ගොස් චතුර දරුවා සමඟ එම නිවෙස්වලට පැමිණියේදැයි සොයා බැලූ අතර ඔහු ඒ එකම නිවසකටත් පැමිණි නැති බව දත් ඇය ඉන් පසුව ගියේ මිද්දෙණිය පොලිසිය වෙතයි.
 
අසල්වැසියෙකු ඒ වන විටත් 119 දැනුවත් කර තිබුණා.
 
ඒ අනුව පොලිසිය පැමිණ සොයා බැලුවත් දරුවා හෝ චතුර ගැන හෝඩුවාවක් හමුවූයේ නැහැ.
 
ඒ වන විට රාත්‍රී දොළහද පසුවී තිබුණා. 12.34ට මධූෂාගේ ජංගම දුරකථනයට චතුරගෙන් ඇමතුමක් ලැබුණා.
 
"කෝ මගේ දරුවා. මට දරුවා ගෙනත් දීපන්.." මධූෂා කෑ ගසන්නට ගත්තා.
 
"ළමයා ඕන නම් තේක්ක කැලේ උඩහට වරෙන්.." මධූෂා පදිංචි නිවස පිහිටා තියෙන්නේ තේක්ක කැලයට පහළින්. එය දැන් පාළු අඳුරු ගුප්ත බවකින් ද යුක්තයි.
 
"මට දරුවාට කිරි දෙන්න ඕන.. දරුවා බඩගින්නේ ඉන්නේ.." ඇය බැගෑපත් වුණා.
 
"මට ඒවා වැඩක් නෑ. උඹට දරුවා ඕන නම් කැලේ උඩහට වරෙන්.."
 
"මට මේ රෑ ඔහේ එන්න බැහැ. මම බාප්පාව එවන්නම්.. මට දරුවා දෙනවා..." මධූෂා හඬා වැළපෙමින් චතුරට කීවා. ඒත් චතුර ඊට පිළිතුරු දුන්නේ නැහැ.
 
"අනේ බාප්පේ ඔයා යන්න. චතුර කැලේ ඉන්නවලු දරුවත් එක්ක. මේ ටෝච් එකත් අරගෙන යන්න.."
 
මධූෂාගේ බාප්පා විදුලි පන්දම ද අතැතිව උඩහ කැලයට ඇතුළු වූයේ ජංගම දුරකතනයෙන් චතුර හා කතාබස් කරමිනුයි.
 
"මම දැන් කැලේ ඉන්නේ. කොතනද උඹ ඉන්නේ.."
 
"හා ඔහොම ඉස්සරහට එන්න. දකුණට හැරිලා එන්න.."
 
එසේ කී චතුර මධූෂාගේ බාප්පාව එතනැට ගෙන්වා ගත්තා. විදුලි පන්දම් එළියෙන් ඉතා අසීරුවෙන් මහ වනය මැද හීන් සිරුවේ අඩි තබමින් ගිය බාප්පා එකවරම එක තැන නතර වුණා. ඒ විදුලි පන්දම් එළිය යමක් දැකීම නිසායි.
 
"දෙයියනේ මේ දරුවා නේද?"
 
ලේ විලක් මැද බිම වැටි සිටි සිඟිත්තිය දුටු ඔහු ඇය ඔසවා ගත්තා. ඒත් ඇගේ ගතින් ගලා යන රුධිරයෙන් බාප්පාගේ අතද සීතල වී ගියා.
 
"යකෝ උඹ මේ මොන අපරාධයක්ද කළේ.."
 
බාප්පාගේ කෑ ගැසීම කැලේ පුරා ගිගිරුම් දුන්නා. සිද්ධිය ජංගම දුරකථනය ඔස්සේ මධූෂාට දැනුම් දීමෙන් පසු ඇය මේ බව පොලිසියට දන්වා සිටියා.
 
චතුර පලාගොස් සිටි අතර පසුව ඔහු නිතීඥවරයෙකු මාර්ගයෙන් මිද්දෙණිය පොලිසියට පැමිණ භාර වූ අතර පසුව වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.
 
නීතිපතිවරයා විසින් චතුරට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.
 
වසර පහක් පුරා තංගල්ල මහාධිකරණයේ විභාග වුණු මේ නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් වුණා. එහිදි විත්තිකරුට එරෙහිව නගා තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම නිසා තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා චූදිත තොටමුන පටබැඳිගේ චතුර මධුශංකට මරණීය දණ්ඩණය නියම කළා.


under the courtesy of Gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka