Friday, November 22, 2019

"සැමියාටත් හොරෙන් ලොකු පොලියට සල්ලී අරන්.." - සල්ලි කන්දකට ජීවිතය සින්න කළ දිලිනි ප්‍රියංගිකා ගිං ඔයට ජීවිතය පුදයි

ඉකුත් හතරවෙනි සඳුදින සවස 5.30 ට පමණ මැදිවියේ පුද්ගලයෙකු තම මව සමග මාරවිල පොලිසියට පැමිණියේ සිය බිරිඳ අතුරුදන්වීම සම්බන්ධව පැමිණිලි කිරීමටය. එදින උදෑසන නිවසින් පිටත්ව ගිය ඇයගෙන් ඒ වන තුරුත් කිසිදු තොරතුරක් නැති බව එහි සඳහන් විය. ඇයගේ ජංගම දුරකථනයද විසන්ධි වී ඇති බවයි ඔවුන් පැවසුවේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ මාරවිල පොලිස් වසමට අයත් දෙමටපිටිය පාර මැද කටුනේරියේ පදිංචි දිලිනි ප්‍රියංගිකා මධුෂානි නමැති 34 හැවිරිදි දෙදරු මවකි.

මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් ඒ අවට පිහිටි සෙසු පොලිස් ස්ථාන මේ සම්බන්ධව දැනුවත් කළේය.

දිලිනි ප්‍රියංගිකාගේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවෙකි. වයස අවුරුදු 15 ක දියණියක් සහ අවුරුදු 07 පුතකුගේ මවක් වන ඇය විවාහ වූයේ මීට
වසර දාහතකට පමණ පෙරය. ඇයගේ නිවස ආසන්නයේම ජීවත් වූ අයෙක් සමග දැන හැඳින ගැනීමෙන් අනතුරුව දෙමව්පියන්ගේ ආශිර්වාද මැද විවාහ දිවියට පැමිණි ප්‍රියංගිකා සිය සැමියාගේ නිවසේ ජීවත් විය. එම නිවසේ සැමියාගේ මවද කල් ගෙව්වාය. වෘත්තියෙන් පෙදරේරුවකු වුවත් ඒ හා සම්බන්ධ වෙනත් වෘත්තියන් පවත්වාගෙන යෑමටද ඔහු කටයුතු කළේය. බිරිඳ නිවසේ රැඳී සිටිමින් දරුවන්ගේ කටයුතු සොයා බලා සැමියාටද අත්වැලක් වෙමින් ජීවන ගමන රැගෙන යෑමට කටයුතු කළාය. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු මැනැවින් සොයාබලා ඔවුනට ශක්තියක් වෙමින් කල්ගෙවූ ඇය ඔවුන් අධ්‍යාපන හදාරන කටුනේරිය ප්‍රදේශයේ පාසල් වලට දරුවන් රැගෙන ගියේ යතුරු පැදියෙනි.

ඉකුත් හතරවෙනි දින උදෑසනින්ම සිය සැමියා කඩිමුඩියේ ලක ලැහැස්ති වූයේ මාරවිල මූලික රෝහලට යෑමටය. ඒ ඔහුගේ මවගේ රෝගී තත්ත්වය නිසාවෙන් එදින පැවැති වෛද්‍ය සායනය වෙත ඇය රැගෙන යෑමට අවශ්‍ය වූ හේතුවෙනි. බිරිඳ ප්‍රියංගිකාද අවිවේකීය. එදින සතියේ දිනයක් වූ හෙයින් දරුවන් පාසල වෙත රැගෙන යෑම සඳහා ලකලෑස්ති කිරීමට කටයුතු කිරීම නිසාය. “මම දරුවන්ව පාසලට දාලා වෙරළට යනවා මාළු ගේන්න ඔයා එහෙනම් අම්මට බෙහෙත් අරං එන්න” බිරිඳ සිය සැමියා මව සමඟ රෝහලට නිවසින් පිටත්වීමට සූදානම් වන අවස්ථාවේ ඇය කියා සිටියාය. “ඔයා එහෙනම් පරෙස්සමින් ගිහින් මාළු අරන් එන්න අපි ඉක්මනින් ගිහිල්ලා එන්නම්” සැමියාගේ පිළිතුර විය.

ඇය ළමුන් පාසලට දමා නැවතත් නිවසට පැමිණ නිල් පැහැති මල් වැටුන ගවුමකින් සැරසී කළු පැහැති ජැකටයද දමාගෙන යතුරුපැදියෙන් නිවසින් පිටත් වූවාය.

මව සමග රෝහලට ගිය ඇගේ සැමියා ඇයට ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණෙන විට දහවල් 12.30 පමණ විය. කටුනේරිය ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන හදාරන බාල පුතණුවන් වෙනදාට ඇය එම වේලාව වන විට නිවසට රැගෙන ඒම නිසා එදින නිවසේ නොසිටි හෙයින් ඔහු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තද එය ක්‍රියා විරහිත වී තිබුණි. පසුව ඔහු කඩිනමින් ත්‍රිරෝද රථයකින් පාසලට ගොස් සිය දරුවා රැගෙන ඒමට කටයුතු කළේය. සාමාන්‍යයෙන් ඇයගේ දුරකථනය ක්‍රියා විරහිත නොවීම හේතුවෙන් ඔහුගේ සිතට කුකුසක් ඇතිවිය. ඇයට කිසියම් කරදරයක් වූවාදැයි සිතමින් නිවස ඉදිරිපිට බංකුවේ වාඩි වී කල්පනා කරමින් සිටියදී පුද්ගලයෙක් පැමිණ ඇයගේ බිරිඳ ගැන විමසීය.

ඇය නිවසේ නැති බව ඔහුට පැවසූ විට ඔහුගෙන් ලැබුනේ කිසිදා බලාපොරොත්තු නොවූ පිළිතුරකි. “මගෙන් පොලියට සල්ලි වගයක් අරන් තියනවා ඒවා බලන්නයි ආවෙ” පැමිණි පුද්ගලයා සිදුවී ඇති කාරණය දිගින් දිගටම කීවේය. කිසිත් කර කියා ගත නොහැකිව අන්ත අසරණ වූ ඇගේ සැමියා මඳ වේලාවක් නිරුත්තර විය. ඇය පැමිණි පසු පණිවුඩයක් ලබාදෙන බව පවසමින් නිවස තුළට ඔහු ගියේ සිදුවී ඇති දෙය ගැන දැඩි කනස්සල්ලෙනි. කිසිදු වැඩක් පලක් කරකියාගත නොහැකිව කල්පනා කරමින් සිටින අවස්ථාවේ එදිනම සවස 2.30 ට පමණ තවත් කාන්තාවන් දෙදෙනෙක් නිවෙසට පැමිණියේ කලින් නිවසට පැමිණි පුද්ගලයා විසින් සිදුකළ ප්‍රකාශයන්ම පවසමිනි. එසේ පැමිණියේ මවක් සහ ඇගේ දියණියයි. ඔවුන් ඔහු දන්නා හඳුනන අය වුවත් මෙවැනි මුදල් ගනුදෙනු සම්බන්ධව බිරිඳ විසින් කිසිත් කියා නොතිබුණි. ඔවුන් කියූ අයුරින් ඇය රුපියල් ලක්ෂ ගණන් මුදල් පොලී පදනම මත මුදල් ලබාගෙන ඇතැයි සඳහන් විය. එය සත්‍යක් නම් මෙතරම් මුදල් තමාටත් නොදන්වා ලබා ගත්තේ ඇයි දැයි යන්න ඔහුට මහත් ගැටලුවක් විය. ඔහු මේ බව ඇයගේ සහෝදරයාටද පවසා ඇය සිටින ඉසව්වක් සම්බන්ධව සොයා බැලීමට කටයුතු කළේය. දෙදෙනාම එදින මධ්‍යම රාත්‍රිය වන තුරුත් දන්නා හඳුනන නිවෙස් වලට ගොස් ඇය ගැන සොයා බැලූ අතර එහෙත් ඇය සම්බන්ධව කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි විය. පසුදින එනම් හත් වෙනි දිනද දවස පුරා ඇයගේ අතුරුදන්වීම සම්බන්ධව නොකා නොබී සොයා බැලීය. එදිනද ඔවුනට කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි විය. ඇයට කිසියම් අනතුරක් සිදුවූවාද, එසේත් නැතිනම් කිසියම් පුද්ගලයෙකු විසින් ඝාතනය කළාද යන්න පිළිබඳව පඹගාලක පැටලෙමින් අතුරුදන් වූ ඇයගේ සැමියා කල්පනාවේ නිමග්න විය.

මේ අතරතුර වෙන්නප්පුව පොලිසිය විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ මහතාට 08 වෙනි දින දහවල් 12:00 ට පමණ වෙන්නප්පුව පොලිස් වසමට අයත් දුම්මලදෙනිය කුරුස තොටුපළ දේවස්ථානය අසල ජුසේවාස් මුනිතුමන්ගේ පිළිරුව තිබෙන ස්ථානයේ යතුරුපැදියක් ඇති බවට තොරතුරක් ලැබෙන්නේ එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙනි. මෙම යතුරුපැදිය ඊට කලින් දිනයේ සිට මෙම ස්ථානයේ තිබෙන බවද එහි සඳහන් විය.

පණිවිඩය ලද සැණින් වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පෙරේරා මහතා දැනුවත් කර ඒ සම්බන්ධව සොයා බැලීමට ප්‍රසාද් ලියනගේ මහතා කටයුතු කළේය. ඒ අනුව ලියනගේ මහතා එම ස්ථානයට යන විටත් විශාල පිරිසක් එම ස්ථානයේ එක්රොක්වී සිටියහ. යතුරුපැදිය සුදු සහ කළු වර්ණයෙන් යුත් යතුරුපැදියකි. ආරක්ෂිත හිස් වැසුමක් ද ඒ ආසන්නයේය. එක් රොක්වී සිටි පිරිස අතරින් පුද්ගලයෙකු ලියනගේ මහතා ළඟට පැමිණියේය. “සර් මේ තියෙන්නේ මගේ නෝනගේ බයික් එක. එයා 4 වෙනිදා උදේ ගෙදරින් ගියාට පස්සේ අවේ නෑ. අපි මාරවිල පොලිසියේ පැමිණිල්ලක් කළා” පසුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන යතුරුපැදිය ඔහුට භාර දීමට කටයුතු කළේය. ඔහුගේ ප්‍රකාශයට අනුව ඇය ලක්ෂ ගණනින් පුද්ගලයන් කීප දෙනකුගේ මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය විය. එහෙත් ඒ සම්බන්ධව ඔහු කිසිත් නොදන්නා බවයි පොලිසිය හමුවේ කියා සිටියේ.
මෙම ජුසේවාස් පියතුමන්ගේ ප්‍රතිමාව වැඳපුදා ගැනීමට බොහෝ කතෝලික ජනතාව එම ස්ථානයට පැමිණෙන බවත් එහි කිසියම් හාස්කමක් තිබෙන බවත් විශ්වාස කරන බව ප්‍රදේශවාසීහු පවසති. අතුරුදන්ව සිටින ප්‍රියංකාද සෑම සතියකට වරක් මෙම ස්ථානයට පැමිණෙන බවද ඇයගේ ස්වාමිපුරුෂයා සඳහන් කළේය.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අතුරුදන්ව ඇති ඇය සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් ආරක්ෂිත කැමරා පද්ධතිද නිරීක්ෂණය කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ඒ අතරතුර එදින රාත්‍රි 7 ට පමණ ලියනගේ මහතාට එම ප්‍රදේශයෙන් ගලා බස්නා ගිං ඔයේ කාන්තා මළ සිරුරක් පා වෙන බවට තොරතුරක් ලැබේ. ඒ අනුව වහාම එම ස්ථානයට ගොස් ස්ථාන පරීක්ෂාවක් සිදුකර විමර්ශන කටයුතු සිදු කිරීමට කටයුතු කළේය. ගිං ඔය ඉවුර දෙපස කඩොලාන හා විවිධ ශාක වලින් ගහන ජනශූන්‍ය ප්‍රදේශයකි. දින කිහිපයක් ගත වී ඇති හෙයින් සිරුර තරමක් දුරට නරක් වී තිබුණි. සිරුරේ තැනින් තැන සතුන් විසින් කා දමා ඇති බවට සලකුණු ද විය. මෙහිදී ඇය සිටි ඇඳුම් වලින් මියගිය අයගේ සැමියා මියගොස් ඇත්තේ තම බිරිඳ බවට හඳුනා ගත්තේය.

මාරවිල දිසා විනිසුරුවරයා විසින් එම ස්ථානයට පැමිණ ස්ථානය පරීක්ෂාකොට කොට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත අධිකරණය වෛද්‍යවරයාට යොමු කිරීමට නියම කළේය. ඒ අනුව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ දියේ ගිලී සිදු වූ මරණයක් බවටය.

වෙන්නප්පුව සහ අවට ප්‍රදේශවල බොහෝදෙනෙක් විදේශගතව රැකියාව කරනවා. විශේෂයෙන් ඉතාලි වැනි රටවල. ඇතැම් පවුල්වල බිරිඳ හෝ ස්වාමිපුරුෂයා එහි රැකියාවේ නිරතව බිරිඳට හෝ පුරුෂයාට මුදල් එවනවා. බොහෝ දෙනෙක් එම මුදල් පොලී පදනම මත ලබාදී තව තවත් මුදල් රැස් කිරීමට පෙලඹී සිටිනවා. මේ අයගෙන් බොහෝ පිරිසක් එම මුදල් ලබාදී ආපසු ලබා ගැනීමට නොහැකිව අවසානයේ නීතියේ සරණ පතනවා. මෙය ඉතා ඛේදවාචකයක්. අසීමිත ලෙස මුදල් ඉපැයීමට ගොස් ඇතැම් අය ජීවිතයෙන් පවා වන්දි ගෙවනවා යැයි වෙන්නප්පුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ මහතා පැවසීය.

අමරනන්ද විජේසේකර

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka