Tuesday, October 29, 2019

මහවැලි ගඟේ සැඟව ගිය ශ්‍රී පාද විද්‍යාලයේ ඉංග්‍රීසි ටීචර් සෙව්වන්දි නිසංසලාගේ මරණය පිටුපස සැඟවුණ කතාව - Videos

ගම්පොළ කීරපනේදී අතුරුදන් වීමෙන් පසුව මහවැලි ගඟෙන් සිරුර සොයා ගන්නා ලද විසිහත් හැවිරිදි සෙව්වන්දි නිසංසලා රත්නායක ඉංග්‍රීසි ගුරුවරියගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් ඇගේ මාපියන් හා ඥාතීන් තවමත් පසුවන්නේ හැඬු කඳුළින් සහ තම දියණියට සිදු වූ දේ ගැන බරපතල සැකයෙනුයි.

ගම්පොල ශ්‍රී පාද විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් වූ සෙව්වන්දි නිසංසලා පසුගියදා පාසල නිම වී සිය නිවසට පැමිණෙන අතරමඟ නිවසට නුදුරින් ආගිය අතක් නැතිවුණා.

ඇගේ සිරුර ඉන් දින හතකට පමණ පසුව හමු වී තිබුණේ මහවැලි ගඟේ කිලෝමීටර හතළිහක් පමණ
ඈතින් තලාතුඔය පොලිස් වසමේ දීයි.

නිසංසලා එදින පාසල නිමවී නිවසට එන අතරමඟ නිවසට නුදුරින් ජලය ගලා බසින කාණුවකට වැටී ගසාගෙන යාම නිසා මරණයට පත් වන්නට ඇති බව දැනට ඇති සැකයයි.

එහෙත් පසුගිය නම වැනිදා ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සිව සුබ්‍රමනියම් මහතා ඒ සම්බන්ධව දී තිබුණේ විවෘත තීන්දුවක්.

අධිකරණ වෛද්‍යවරයා දුන් එම තීන්දුවෙන් අනතුරුව ගම්පොල දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේක මහතා නිසංසලා එදින සිය නිවසෙට ගමන් කරද්දි පැති කාණුවකට වැටුණා කියන ස්ථානය දෙවන වරටත් පසුගිය දහනවැනිදා සවස පරීක්ෂා කරනු ලැබුවා.

දිසාවිනිසුරුවරයා මේ ස්ථානිය පරීක්ෂාව සිදු කිරීමට පළමුව ගම්පොළ පොලීසිය නිසංසලාගේ මරණය පිළිබඳව මෙතෙක් සිදුකළ විමර්ශන දිසා අධිකරණයේදී බොහෝ වෙලාවක් විමර්ශනය කරනු ලැබුවා. ගම්පොළ මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා ඒ සඳහා ගම්පොළ දිසා අධිකරණයට කැඳවා තිබුණා.

නිසංසලා ගුරුවරිය මහ වැස්සේ සිය නිවසට යන ආකාරය සඳහන් සිසීටිවි දර්ශනද ගම්පොල දිසා විනිසුරුවරයාගේ අධික්ෂණයට ලක් වුණා.

නිසංසලාගේ සිරුර මහවැලි ගඟේ තිබී සොයාගන්නා ලද අවස්ථාවේ ඇගේ සාරියේ කොටසක් හැට්ටය හා යට ඇඳුම් මෙන්ම ඇය පැළඳ සිටි රන් පවුම් තුනක මාලයද සිරුරේ නිරුපද්‍රිතව තිබී සොයා ගනු ගැණුනා.

මෙවැනි හේතුන් නිසා තම දියණියට සිදු වූ විපත පිළිබඳව කවමත් සැක සංකාවෙන් පසුවන නිසංසලාගේ මවුපියන් කියන්නෙ මෙවන් කතාවක්.

නිසංසලාගේ පියා වන වීරසිංහ මුදියන්සේලාගේ රත්නායක මහතා,

"අවුරුදු තුනකට විතර ඉස්සර මගේ දුවට කරදර කරපු කෙනෙක් හිටියා. දවසක් එයා තව 4 දෙනෙක් එක්ක මම වැඩ කරන තැනට ආවා. මම වැඩ කරන්නේ ගම්පොළ අම්බුළුවාවේ. එතනට ඇවිත් මට කතා කරන්න ඕනේ කීවා. මම කීවා ප්‍රශ්නයක් නෑ කතා කරන්න කියලා. පස්සෙ එයා කීවා, අංකල් මම දෙයක් කීවොත් අංකල් මට ගහන්න එනවද කියලා. මම කීවා මම එහෙම කෙනෙක් නෙවෙයි, ඕන දෙයක් මගෙත් එක්ක කතාබහ කරන්න කියලා.."

"පස්සෙ එයා කීවා නිසංසලා මගෙත් එක්ක යාළුයි. මට ඕනේ ඒකට කැමැත්ත ගන්නැයි කියලා කීවා.."

"පස්සෙ මම කීවා මම ඔයාට කරදර කරන්නෙත් නෑ. එයාට කරදර කරන්නෙත් නෑ. හැබැයි ඔයා මේක නවත්තන්න ඕනේ කියලා කිව්වා. හැබැයි නවත්තන් නැත්නම් මම ඕනෑ පියවරක් ගන්නවා කියලත් කිව්වා.."

"ඊට පස්සෙ එයා මේක නතර කරලා තිබුණා. හැබැයි මඟ තොටින් අපට ආරංචියක් ආවා එයා කිව්වා හොඳින් නැත්තම් නරකින් හරි මගේ දුව 'උස්සනවා' කියලා. ඒ නිසා මට හිතෙනවා මෙයා කවුරුහරි දාලා දුවට මේ අපරාධය සිද්ධ කළා කියලත්. ඒ නිසා ඕනෑ තැනකදී මගේ ඉස්සරහා එයාව තියලා මේ ගැන අහන්න පුළුවන්. මේක කිව්ව අයත් මට ඕනෑම තැනකට ගේන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න මම ඉල්ලා සිටිනවා. අපට ඕනේ මේකේ ඇත්ත නැත්ත දැනගන්නයි.."

නිසංසලාගේ මව වන චන්ද්‍රා ජයවීර මහත්මිය මෙසේ සඳහන් කළා,

"මට මගේ දුවගේ මරණය ගැන තවමත් සැකයි. මගෙ ගෙදරට එහා පැත්තෙ ඉන්නවා ගෑනු කෙනෙක්. එයා ගැනත් මට සැකයක් තියනවා. මගේ දුව අතුරුදහන් වුණාට පස්සෙ දවසක් රෑ 'ගුඩ් නයිට්' කියලා මැසේජ් එවලා තියනවා. දුව අතුරුදහන් වෙලා දවස් ගානකට පස්සෙ ඒ ගෑනු කෙනාගේ නංගි බැඳලා ඉන්න මනුස්සයා අපිට කෝල් කරලා ඇහුවා මොකද දැන් තොරතුරු කියලා. ඔච්චර දවසක් ඉඳලා ඊට පස්සෙ තමයි මේ ගැන ඇහුවේ. මට සැක හිතුණා. ඒ නොම්මර දෙකම මම පොලීසියට දුන්නා..."

"මගේ දුව ඉස්කෝලේ යන්න ඉස්සරලා හැමදාම මට වඳිනවා. මම එයාව ඉඹලා එයාව බස් එක ගාවට දාන්න යනවා. මගේ මැණිකෙට මොනා වුණාද කියලා හිතාගන්න බෑ. මම පිරිත් නූල් ගෙනල්ලා එයාගේ අතේ බඳිනවා. මට සැකයි දුවට මොනවා වුණාද කියලා.."

"මේ සිද්ධිය වුණාට පස්සෙ අපේ ගමේ අයයි පොලීසියයි එයා හොයන්න පටන් ගත්තා. ඒත් ගමේ කීප දෙනෙක්ම උදව් කරන්නවෛ් නෑ. මට ඒ අය ගැනත් සැකයි. ඉස්කෝලේ ඇරිලා සාරිය ඇඳගෙන වෙන මිනිහෙක් එක්ක ගියා කියලා අපහාස කරලා ප්‍රචාරය කරලා තියනවා. මේක අහස පොළව නුහුලන අපරාධයක්. ඉස්කෝලේ ඇරිලා ගෙදර එන දුව අපෙන් අහනවා අම්මාට තේ එකක් හදලා දෙන්නද කියලා. මල්ලි කොහේද කියලා අහනවා. අපි හැමෝටම ආදරය කළ මගේ මැණික අපිව දාලා ගියා..."

නිසංසලා ගැන මවුපියන් එසේ කියද්දි ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් හා ඇතුළු නොයෙක් සෙසු අයද විවිධ අදහස් පළ කරනවා. එසේම මෙම මරණය සමඟ එම පවුල් වල අය සමඟ අමනාපකම් තිබෙන අය අසත්‍ය ප්‍රචාර ද පතුරුවා තිබෙනවා.

ඒ අතර තවත් සමහරුන් ෆේස්බුක් වෙබ් අඩවිවලින් ඇයට මෙන්ම ඇගේ පවුලේ උදවියටත් අපහාස කළා යැයිද දැනගන්නට ලැබෙනවා.

ඒ අතර ඇයට හිතවත් පිරිස හා ඥාතින් ඇය වෙනුවෙන් දානමාන කටයුතු කර පින් ලබා දී තිබෙනවා. ඒ ආකාරයට ඇය සේවය කළ හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ දීද පසුගියදා ඇය වෙනුවෙන් දානමය පිංකමක් පැවැත්වුණා.

නිසංසලාගේ අතුරුදහන්වීමෙන් දින ගණනකට පසු හමුවූ ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සිවසුබ්‍රමනියම් මහතා සිදු කළා.

නමුත් ඇගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේ සිරුර ඉදිමී නරක් වී තිබු නිසා මරණයට හේතු පැවසීම තව දුරටත් පරීක්ෂණ කිරීමෙන් තීරණය කළ යුතු බව පැවසු වෛද්‍යවරයා සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාට යොමු කිරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් නිසංසලා ගේ මරණය දියේ ගිලී සිදුවූවක් බවට විශ්වාස කරන ප්‍රදේශවාසීන් ඇය හැඳ සිටි සාරිය, මාලය ආදිය සිරුරේ එස්ම පැවතීම පිළිබඳව ඇතිව තිබෙන සැකය සමඟ මෙසේ විවිධ අදහස් පළ කිරීමට පෙළඹී සිටිනවා.

යම් අයෙකු ජලයට වැටුණු මොහොතේ එම ස්ථානයේ ඇති ජලයේ ඩයටුම් නම් ක්ෂද්‍රජිවි විශේෂ කොටස් ශරීරයේ ඇටමිදුලුවල තැන්පත් වන අතර එම කොටස් සහ ජල සාම්පල් පරීක්ෂාවෙන් මරණය සිදු වී ඇත්තේ ජලයේ කුමන් ස්ථානයේද යන්න සොයා ගත හැකියි.

එමෙන්ම යම් අයකු ඝාතනය කර දියට දැමීම හා දියේ ගිලී මරණය සිදුවුණා දැයි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගත හැකි අතර අතවරයට ලක් කිරීමක් හෝ වෙනත් හේතූද ඉන් අනාවරණය කරගත හැකියි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka