Sunday, October 13, 2019

අසරණ ගැහැනු දරුවන් ‘විනෝද විවාහ’ සඳහා පොළඹවන ඉරාක පූජකවරුන්

ඉරාකයේ පූජකවරුන් තරුණ ගැහැනු දරුවන් ලිංගික ක්‍රියාකාරකම්වලට යොමු කිරීමට පෙළඹී සිටින බව බීබීසී අරාබි පුවත් සේවය කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙය අනාවරණය වී ඇත්තේ, ෂියා මුස්ලිම් පාර්ශවයේ තාවකාලික "විනෝද විවාහ" සම්බන්ධයෙන් කළ ගවේෂණයකින් පසුවය.

ඉරාකයේ වඩාත් වැදගත් සිද්ධස්ථාන අසල පූජකවරුන් විසින් පවත්වාගෙන යනු ලබන විවාහ කාර්යාල සම්බන්ධයෙන් කළ රහසිගත ගවේෂණයකින් හෙළි වී ඇත්තේ, පූජකවරුන්ගෙන් බොහෝ දෙනෙකු ලිංගිකව හැසිරීම සඳහා ඉතාමත් කෙටි කාලයකට, ඇතැම් විට පැයකට අඩු කාලයක් සඳහා "විනෝද විවාහ" කර දීමට සූදානමින් සිටින බවය.

ඇතැම් පූජකවරු මෙවැනි කෙටි කාලීන විවාහ වයස අවුරුදු 9 පසු වන දැරියන්ට පවා සිදු කර දීමට
සූදානමින් සිටිති.

ඊට අමතරව, විනෝද විවාහ සදහා මනාලියන් ලෙස කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් සැපයීමට ද ඔවුන්ට ඇණවුම් ලැබේ.

පූජකවරුන් දැරියන් ලිංගිකව අපයෝජනය කිරීම සදහා ආගමික වශයෙන් ආශීර්වාද කරන බවත් ඔවුන් තැරැව්කරුවන් ලෙස ක්‍රියා කරන බවත් මෙම ලිපියෙන් අනාවරණය කෙරේ.

"විනෝද විවාහය"

විනෝද විවාහය (නිකාහ් මුටාහ්) යනු කාන්තාවකට මුදල් ගෙවීමෙන් සිදු කරන තාවකාලික විවාහයක් හරහා සිදුවන ෂියා මුස්ලිම්වරුන්ගේ මතභේදාත්මක ආගමික පිළිවෙතකි. සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල "මිස්යාහ්" විවාහය හරහා ද සිදු වනුයේ මීට සමාන කාර්යයකි.

මෙම ක්‍රමය භාවිතයට පැමිණ ඇත්තේ පිරිමි පුද්ගලයෙකුට ගමන් බිමන් යන විට බිරිඳක රැගෙන යාමට ඉඩ දීම සදහා යැයි සැලකේ. එහෙත් එය වර්තමානයේ භාවිත වනුයේ පිරිමියෙකුට සහ ස්ත්‍රියකට සීමිත කාලයක් සඳහා ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ දීම සදහාය. මෙම ක්‍රමය සම්බන්ධයෙන් මුස්ලිම් විද්වතුන් අතර බෙදීම් පවතින අතර සමහරුන් එය ගණිකා වෘත්තිය නීත්‍යනුකූල කිරීමක් බවට චෝදනා කර අතර විවාහයක කාලය කෙතරම් කෙටි විය හැකි ද යන්න පිළිබඳව ද මතවාද පවතී.

රහසිගතව පූජකවරුන් රූගත කිරීම සහ ලිංගික සූරාකෑමට ලක්වූ කාන්තාවන් මෙන් ම පූජකවරුන්ට මුදල් ගෙවූ පිරිමින් ද සම්බන්ධ කර ගනිමින් "විනෝද මනාලියන්" සොයා ගැනීමේ ක්‍රියාවලිය පිළිබදව බීබීසී ඉරාක සහ බ්‍රිතාන්‍ය කණ්ඩායම් මාස 11 ක ගවේෂණයක නිරත විය.

වසර 15 ක් පුරා පවතින යුද්ධයෙන් ඉරාක කාන්තාවන් මිලියන ගණනක් වැන්දඹුවන් බවට පත්ව ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර තවත් බොහෝ දෙනෙකු අවතැන් වී තිබේ. දරිද්‍රතාව හේතුවෙන් බොහෝ කාන්තාවන් හා ගැහැනු දරුවන් විනෝද විවාහ පිළිගැනීමට පෙළඹෙන බව බීබීසී කණ්ඩායම අනාවරණය කරගෙන තිබිණි.

බහුලව සිදුවන දෙයක්

ඉරාකයේ අති ශුද්ධ වූ සිද්ධස්ථාන දෙකක් ආශ්‍රිතව විනෝද විවාහ බහුලව පවතින බවට සාක්ෂි සොයා ගැනීමට බීබීසී කණ්ඩායමට හැකි විය.

උදාහරණයක් ලෙස බීබීසී කණ්ඩායම බැග්ඩෑඩ්හි ෂියා මුස්ලිම්වරුන්ගේ අතිශය වැදගත් සිද්ධස්ථානයක් ලෙස සලකෙන ඛදිමියා දේවස්ථානයේ පූජකවරුන් 10 දෙනෙකු සමග කතාබහ කළේය. ඔවුන්ගෙන් 8 දෙනෙකු පැවසුවේ, ඔවුන් විනෝද විවාහ සිදු කර දී ඇති බවය. ඔවුන්ගෙන් අඩක් පැවසුවේ, වයස අවුරුදු 12 හෝ 13 වියේ පසු වූ දැරියන්ට විනෝද විවාහ සිදු කර ඇති බවය.

ඊට අමතරව, ලොව විශාලතම ෂියා පූජනීය ස්ථානය ලෙස සැලකෙන කර්බාලාහි පූජකවරුන් 4 දෙනෙකු සමග ද කතා කිරීමට කණ්ඩායමට හැකි විය. ඔවුන්ගෙන් දෙදෙනෙක් තරුණ දැරියන් සමග විනෝද විවාහ සිදු කිරීමට කැමැත්ත පළ කළහ.

එම පූජකවරුන් සිව් දෙනා කී දේ රහසිගතව රූගත කෙරිණි. තිදෙනෙක් කාන්තාවන් ලබා දිය හැකි බව පැවසූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් තරුණ දැරියන් ද ලබා දිය හැකි බව පැවසූහ.

බැග්ඩෑඩ්හි පූජකවරයෙකු වන සයීඩ් රාඩ් බීබීසී රහස්‍ය වාර්තාකරුට පැවසුවේ ෂරියා නීතිය මගින් විනෝද විවාහයට නිශ්චිත කාල සීමාවක් පනවා නොමැති බවය. "පිරිමියෙකුට තමන්ට අවශ්‍ය තරම් කාන්තාවන් විවාහ කර ගන්න පුළුවන්. ඕන නම් ගැහැනු ළමයෙක් පැය භාගයකට විවාහ කර ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් කෙනෙක් එක්ක විවාහ වෙන්නත් පුළුවන්."
වයස අවුරුදු නවසේ සිට ඉහළට

දැරියක සමග විනෝද විවාහයක් පැවැත්වීම පිළිගත හැකිදැයි බීබීසී වාර්තාකරු සයීඩ් රාඩ්ගෙන් විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ, "ඇයගේ කන්‍යාභාවය නැති නොකිරීමට වගබලා ගන්න," යනුවෙනි.

"ඔබට ඇය ස්පර්ශ කිරීම් කරන්න පුළුවන්, ඇය එක්ක වැතිරෙන්න, ඇගේ සිරුර, පියයුරු ස්පර්ශ කරන්න. ඉදිරිපසින් ලිංගිකව එක්වෙන්න බෑ. ඒත් ගුද සංසර්ගය කරන්න පුළුවන්," ඔහු පැවසීය. එහිදී දැරියට වේදනාවක් දැනුණහොත් කුමක් සිදුවේදැයි ඇසූ විට පූජකවරයා උරහිස් හකුළුවමින් පිළිතුරු දුන්නේ, "එයාට වේදනාව දරා ගන්න පුළුවන් ද බැරි ද කියන එක ඔය දෙන්න අතරේ තියෙන දෙයක්."

කර්බාලාහි පූජකවරයෙකු වන ෂෙයික් සලාවිගෙන් වාර්තාකරු රහසිගත කැමරාවක් මගින් රූගත කරමින් විමසුවේ, 12 හැවිරිදි දැරියන් විනෝද විවාහ සඳහා යොදාගත හැකි ද? යන්නය. "ඔව්. අවුරුදු 9ට වැඩි නම් කිසි ප්‍රශ්නයක් නෑ. ෂරියා නීතියට අනුව කිසි ප්‍රශ්නයක් නෑ," ඔහු පැවසීය.

සයිඩ් රාඩ් පැවසූ පරිදි ම ඔහු ද පැවසුවේ, ප්‍රශ්නයකට ඇත්තේ දැරිය කන්‍යාවියක් ද යන්න පමණක් බවය. ස්පර්ශ කිරීමට අවසර ලැබෙන අතර බාලවයස්කාර දැරිය එකඟ නම් ගුද සංසර්ගයට බාධාවක් නොමැති බවය. ඔහු එසේ කීවේ, "ඔබට කැමති දෙයක් කරන්න" යනුවෙන් කීමට පෙරය.
දුරකතන හරහා විවාහ වීම

දරුවෙකු සමග සිදු කරන විනෝද විවාහය සඳහා වූ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා වාර්තාකරු තමන්ට 13 හැවිරිදි "ෂයිමා" නමැති ව්‍යාජ දැරියක සමග විවාහ වීමට අවශ්‍ය බව පැවසීය. ඇත්ත වශයෙන් ම එම දැරිය ලෙස පෙනී සිටියේ බීබීසී පුවත් සේවයේ සාමාජිකාවකි.

එහිදී ඇයගේ පවුලේ සාමාජිකයින් හමුවන ලෙසට හෝ ඔවුන් සමග කතා කරන ලෙසට සයිඩ් රාඩ් එම වාර්තාකරුට පැවසූවේ නැත. රහස්‍ය වාර්තාකරු සමග කුලී රථයක් තුළ අසුන් ගත් පූජකවරයා විවාහය දුරකතනය ඔස්සේ සිදු කිරීමට එකග විය.

"ෂමියා මොහු එක්ක විවාහ වෙන්න කැමැත්ත දෙනවා ද? එයා එක් දවසකට ඔයාට ඩිනාර් 150000ක් ගෙවයි," ඔහු දුරකතනය ඔස්සේ ඇයගෙන් විමසීය. අවසානයේ ඔහු මෙසේ පැවසීය. "දැන් ඔය දෙන්නා විවාහ වුණා. මේක හලාල් විවාහයක්."

දුරකතනයෙන් විනාඩි කිහිපයක් ගත කර සිදු කළ විවාහය වෙනුවෙන් එම පූජකවරයා ඇමෙරිකානු ඩොලර් 200ක් බීබීසී වාර්තාකරුගෙන් අය කළ අතර 13 හැවිරිදි දැරියගේ ශුභසිද්ධිය පිළිබදව කිසිදු තැකීමක් නොකළේය.
ආගමික ආවරණය

පූජකයන් විසින් සපයනු ලබන ආගන්තුක කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට නිරන්තරයෙන් විනෝද විවාහ සිදු කරන විවාහකයෙකු බීබීසී පුවත් සේවයට මෙසේ පැවසීය: "අවුරුදු 12 ගෑනු ළමයි 'නැවුම්' නිසා ටිකක් ගණන්. ඒ වගේ කෙනෙක් ඩොලර් 500, 700, 800 වගේ මිල අධිකයි. පූජකයෝ සල්ලි හොයන්නේ එහෙමයි."

ඔහු විශ්වාස කරන්නේ, තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ආගමික ආවරණයක් පවතින බවය. "කවුරු හරි පූජකවරයෙක් කියනවා නම් විනෝද විවාහ හලාල් කියලා, ඒක පවක් විදිහට ගැනෙන්නේ නෑ."

ඉරාකය පුරා කාන්තා නේවාසිකාගාර ජාලයක් පවත්වාගෙන යන කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන යානාර් මොහොමඩ් පැවසුවේ, ගැහැනු දරුවන් මනුෂ්‍යයින් ලෙස නොව "වෙළඳ භාණ්ඩ" ලෙස සලකන බවය.

"වෙළඳ භාණ්ඩ එක එක ආකාරවලින් පාවිච්චි කරන්න අවසර තියෙනවා. ඒත්, කන්‍යාභාවය තියාගෙන ඉන්නවා, අනාගතයේදී ලොකු වෙළෙදාමක් වෙනුවෙන්," ඇය පැවසුවාය. 'ලොකු වෙළෙදාම' යනු විවාහයයි.

ගැහැනු දරුවෙකුගේ කන්‍යාභාවය නැති වී ඇත්නම්, ඇය විවාහ විය නොහැකි කාන්තාවක ලෙස සලකනු ලබන අතර, ඔවුන් සිය පවුලට අගෞරවයක් ගෙන ඒම නිසා ඇගේ ම පවුලේ අය විසින් මරා දමනු ලැබීමේ අවදානමක් ද පවතී. "මේ හැම දේකට ම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට," ඇය පැවසීය.
තැරැව්කාරකම්

බීබීසී කණ්ඩායම පූජකවරුන් සමග රහසිගතව රූගත කළ සංවාද පටිගත කර ඇති අතර ඔවුන් පවසන්නේ, ඔවුන් තරුණ ගැහැනු ළමුන් මිල දී ගැනීමට කැමැත්තක් දක්වන බවය.

ඔවුන් සිය වාර්තාව සදහා පූජකවරයෙකු විසින් විනෝද විවාහවලට යොමු කරවන ලද බාලවයස්කාර දැරියකගේ සාක්ෂි භාවිත කර ඇති අතර, එම තොරතුරු තවත් සාක්ෂිකරුවන් විසින් සනාථ කරනු ලැබ තිබේ.

පැය 24 ක විනෝද විවාහයක් සඳහා මිල දී ගනු ලැබූ තරුණියක රහසිගත වාර්තාකරු වෙත ඉදිරිපත් කළ පූජකවරයෙකු ක්‍රියා කළ ආකාරය බීබීසී කණ්ඩායම රහසිගතව රූගත කළේය. ඇත්ත වශයෙන් ම එම පූජකයා ක්‍රියා කළේ තැරැව්කරුවකු (Pimp) ලෙසය.

රහස්‍ය වාර්තාකරු අදාළ තරුණිය සමග විනෝද විවාහය පැවැත්වීම ප්‍රතික්ෂේප කළ විට, පූජකයා, ඔබ යෞවන වියේ ගැහැනු ළමයෙකුට වැඩි කැමැත්තක් දක්වනු ඇතැයි යෝජනා කළ අතර එවන් ගැහැනු දරුවන් ඔහු වෙත ඉදිරිපත් කළේය.
හෙළා දැකීම

ඝයිත් තමීමි ඉරාකයේ හිටපු ප්‍රධාන පෙළේ ෂියා පූජකවරයෙකි. ඔහු මූලධර්මවාදය සම්බන්ධයෙන් පළ කළ අදහස් හේතුවෙන් මේ වන විට ලන්ඩනයට පිටුවහල් කර සිටී.

ඔහු කාන්තාවන් සූරාකෑම සඳහා විනෝද විවාහ සිදු කරන සහ විශේෂයෙන් බාලවයස්කාර ගැහැනු ළමයින්ගේ විනෝද විවාහ අනුමත කරන පූජකවරුන් හෙළා දකී. "අපරාධයක් නම් ඒකට නීතියෙන් දඩුවම් කළ යුතුයි"

ඇතැම් ඉරාක ෂියා ආගමික නායකයින් ලියූ ලිපිවල දැක්වෙන්නේ, ඉස්ලාමීය නීතිය මගින් ළමයින් සමග ලිංගිකව හැසිරීමට අවසර ලැබෙන බවය. මෙම ක්‍රියාවන් හෙළා දැකිය යුතු බව තමීමි ෂියා ආගමික නායකයින්ගෙන් ඉල්ලා තිබිණි.

බීබීසී අරාබි සේවය විසින් රහසිගතව රූගත කරන ලද පූජකවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක් තමන් ෂියා ඉස්ලාම් පාර්ශවයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අයතුල්ලා සිස්තානිගේ අනුගාමිකයන් බව හදුන්වා දුන්හ.

කෙසේ වෙතත්, බීබීසී සේවයට ප්‍රකාශයක් කරමින් අයතුල්ලා සින්තානි මෙසේ පැවසීය: "ඔබ පවසන ආකාරයට මෙම ක්‍රියා සිදුවන්නේ නම් අපි ඒවා අනිවාර්යයෙන් ම හෙළා දකිනවා. කාන්තාවන්ගේ ගෞරවය හා මනුෂ්‍යත්වය හෑල්ලුවට ලක් කරන අයුරින් ලිංගිකත්වය අලෙවි කිරීමේ මෙවලමක් ලෙස තාවකාලික විවාහය භාවිත කරන්න අවසරයක් නැහැ."

ඉරාක රජයේ ප්‍රකාශකයෙකු බීබීසී අරාබි සේවයට පැවසුවේ, "පූජකවරුන්ට එරෙහි පැමිණිලි රැගෙන කාන්තාවන් පොලිසියට නොගියහොත් බලධාරීන්ට එම චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම දුෂ්කරයි," යනුවෙනි.

BBC සිංහල

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka