Saturday, October 14, 2017

පොලිස් ජිප් එකෙන් ගිහින් පෙට්ටියකින් ගෙදර එන්න වුණු ගාමිණිගේ අනුවේදණීය කතාවේ සුලමුළ

පොලිස් අත්අඩංගුවට පත් ව බන්ධනාගාරයට යොමු කළ පුද්ගලයෙකු හදිසියේ මියයාමේ පුවතක් පසුගිය 4 වනදා වාර්තා වුණා.මෙලස මියගොස් තිබුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගාමිණී එඩ්වඩ් නමැති 50 දෙදරු පියෙක්.
ගාමිණී සොරකම් කිහිපයකට වරදකරුවෙකු වූ නිසා පසුගිය 2 වනදා දිවුලපිටිය පොලිසිය විසින් නිවසට පැමිණ අත්අඩංගුවට ගනු ලැබුවා.එහිදී සිය දරුවන් පැවසුවේ පියාට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දී පොලිසියට රැගෙන ගෙන ගිය බවයි. අත්අඩංගුවට පත් වූ ගාමිණී අධිකරණ තීන්දුවකින් අනතුරුව 03 වනදා මීගමුව බන්ධනාගාරයට යොමු කර තිබුණා. නමුත් ගාමිණිට බන්ධනාගාරය තුළ වාසය කිරීමට හැකි වූයේ එක් දිනක් පමණි. මොහු රෝගි තත්වයක්
උස්සන්න වී මීගමුව රෝහලට ඇතුලත්කිරීමෙන් පසු මියගොස් තිබුණා. මෙලෙස පියාගේ මියයාමට හේතුව පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදීම් නිසා බවයි  දියණිය සඳහන් කරේ. සිය දරුවනුත් බිරිඳත් තනිකර මෙලොව හැර ගිය ගාමිණිගේ අනුවේදණීය කතාවේ නොදත් කරුණු කිහිපයක් ජාතික පුවත් පතක මෙලෙස පලවී තිබුණා.

හුනුමුල්ල කැලෑපිටිමුල්ලේ කොටලියද්දවත්ත අයිති විදෙස් කාන්තාවකටය. එම වත්තේ මුරකරු ලෙස කටයුතු කළේ කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ්ය. ඔහු පනස් විය පිරුණු දෙදරු පියෙකි. දරුවන් දෙන්නා පාසල් යන වයසේය. පසුගිය දෙවැනිදා උදෑසන ගාමිණීගේ දරු දෙන්නා හිටියේ පාසල් යන්නට සූදානම් වෙමිනි.

එක්වරම ගේ අසල නැවතුණු පොලිස් රියකි. ඉන් බැසගත් පොලිස් කණ්ඩායමක් ත්‍රස්තවාදියෙක් ඩැහැගන්නට එන්නාක් සේ ගාමිණීගේ ගේ වට කළහ. කණ්ඩායම මෙහෙයවූ නිලධාරියා ගෙට ඇතුළු විය. ගෙයි කාමරය පරීක්ෂා කළේය. පොලිස් කණ්ඩායම ඇවිත් තිබුණේ ගාමිණීව අත්අඩංගුවට ගන්නටය. චෝදනාව හොරකමකි. පැමිණිල්ල කර ඇත්තේ ගාමිණී මුරකාරකම කළ වත්ත හිමි කාන්තාවය. තම මුරකරු විසින් තමන්ගේ නිවෙසේ ඇති භාණ්ඩ සොරකම් කර ඇති බවට ඇය දිවුලපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ වනවිට ගාමිණී සිටියේ සිය දරු දෙදෙනා පාසල් ඇරලවන්නට සූදානම් වෙමිනි. පොලිසිය ගාමිණී අමතන්නේ තිත්ත කතාවෙනි. දරු දෙදෙනා ඉදිරියේදීම කුණුහරුප වරුසාවකින් ගාමිණීව අමතන පොලිස් නිලධාරීන් ඔහුට පහර කීපයක් දී පොලිස් වාහනයේ දමාගෙන රැගෙන යන්නේය. පොලිසිය සැකකරු සැකපිට අත්අඩංගුවට ගන්නේ එසේය. අත්අඩංගුවට ගත් ගාමිණී පසුගිය 03 දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව ඔහුව අධිකරණ නියෝග ප්‍රකාරව ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පසුගිය 4දා උදෑසන හදිසියේ මේ තැනැත්තා අසනීප වූ බව පොලිසිය කීවේය. බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝගය උත්සන්න වූ බව කීවේය. රෝගය උත්සන්න වූ නිසා බන්ධනාගාර වෛද්‍යවරයාගේ නියමය මත මීගමුව රෝහලට රැගෙන ගොස් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව ප්‍රකාශ විය. පොලිසිය කීවේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කළේ උත්සන්න රෝගී තත්ත්වය නිසා සැකකරු මියගොස් ඇති බවයි.

ගාමිණී මියගොස් තිබුණේ උත්සන්න වූ රෝගයකින් නොවන බව ඥාතීහු කීහ. අත්අඩංගුවට ගත් දිනට පසුදින ඔහුව දකිනවිට ඔහු සිටියේ ඉතා අමානුෂික පහරදීම්වලට ලක්ව බව ඥාතීහු කීහ.

"අයියාට හොඳටම ගහලා තිබුණු බව දැක්කා... ඇහැකට ලේ පුරලා... ඇඟ හැමතැනම නිල් වෙලා. එයා කතා කළෙත් අමාරුවෙන්. අන්තිමට මේ මිනිස්සු අයියාව ගහලා මැරුවා..." ගාමිණීගේ සහෝදරියක් කීවාය. ඔහුගේ දියණිය ඉකි ගසමින් කී කතාව හදවත බිඳ දමන්නේය. මේ යුනිෆෝම්කාර අසංවර මිනිසුන් මේ දරුවන් ඉදිරියේ හැසිරී තිබුණේ නොමිනිසුන් සේය.

"තාත්තා කිව්වා අපිව ඉස්කෝලෙ දාන්න තියනවා කියලා... තිත්ත කුණුහරුපෙන් බැනලා කිව්වා මුං ඉස්කෝලෙ යයි. තෝ වර කියලා. ඊට පස්සෙ තාත්තා කිව්වා ටිකක් ඉන්න මහත්තයො... මං ටොයිලට් එකට ගිහින් එන්නම් කියලා. උඹ හිතුවද එහෙ ටොයිලට් නෑ කියලා. දැන් වර යන්න කියලා තාත්තාගෙ බෙල්ලෙන් අල්ලගෙන බල්ලෙක් වගේ ඇදන් ගියා. ඇදන් යනකොටත් ගැහුවා..."

පොඩි එකීගේ ඉකිය මතුවී වචන ගිලී යනු ඇසිණි.

"තාත්තා උසාවි යනකොට මට කතා කළා. කතා කරලා ඇහුවා පුතා ඉස්කෝලෙ ගියාද කියලා. මං නෑ කිව්වා. තාත්තා බන්ධනාගාරෙට දැම්මා කිව්වම අයියා කෙනෙක් ගියා එයා බලන්න. එයා කිව්වා අනේ පිස්සු වගේ... තාත්තාව බලන්න දෙන්නෙ නෑ කියලා."

"පස්සෙ ඒ අයියා කිව්වා අපේ තාත්තා මැරිලා කියලා..." ඇය සිය පුංචි සොයුරාව වැලඳගෙන ඉකිබිඳින අයුරු බලා සිටිය නොහැකි විය. අවසානයේදී පොලිසියේ අමනුෂ්‍යයන් සැකපිට අත්අඩංගුවට ගත් අසරණ මනුෂ්‍යයකුට තිරිසන් සේ පහර දී මරා දමා තිබිණි. පොලිස් අත්අඩංගුවට පත්වීම මරණ සහතිකය ලියා ගැනීමක් බඳු වීමේ බිහිසුණුකම ගැන යළිත් රට තුළ කතා ඉපදී තිබිණි.

සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. පසුගිය 05 වැනිදා පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 4දා බදාදා රාත්‍රි 8.40ට පමණ මීගමුව රෝහල් පොලිස් මුරපොළින් මීගමුව පොලිස් ස්ථානයට ලද පණිවුඩයකට අනුව මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති අය මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. මෙම මරණය සම්බන්ධව මීගමුව පොලිසිය මඟින් පසුගියදා 5දා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා මීගමුව රෝහලට පැමිණ මෘත ශරීරය පරීක්ෂා කළේය. අනතුරුව මරණයට අදාළ හේතුව පරීක්ෂා කිරීමටත්, පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත් මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග කළේය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. එන්. රුහුල් හක්ය. ඔහු සිය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළේය.

මරණය හේතුව ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ බහුවිධ තුවාලය. බහුවිධ තුවාල විස්සකට වැඩි ප්‍රමාණයක් ඔහු හඳුනාගෙන තිබුණේය. එම බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ කම්පනයෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කළේය. අධිකරණ වෛද්‍ය වාර්තාව කියමින් සිටියේ නිර්දය ලෙස පහරදීමකින් සිදුවන මිනීමැරුමක තොරතුරුය.

මේ අධිකරණ වාර්තාව නිකුත් වීමත් සමඟම පසුගිය 05දා බ්‍රහස්පතින්දා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි දිවුලපිටිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනකු හා පොලිස් කොස්තාපල්වරයකු දිවුලපිටිය පොලිස් ස්ථානයේ සිට පෑලියගොඩ පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර යැවීය. ඉන් පැයකට පසු දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක සමන් ප්‍රියංකර ගමගේ නමැත්තා අත්අඩංගුවට ගනු ලැබිණි.

අනතුරුව පසුගිය අඟහරුවාදා (10දා) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත වෙත සමන් ප්‍රියංකර ගමගේ නමැති මේ චූදිත පොලිස්කාරයා ඉදිරිපත් කරන ලදී. ඔහු සම්බන්ධව වෙනම පරීක්ෂණයක් දියත් වන බවත් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. එදින මරා දැමූ අසරණයාගේ දානමය පුණ්‍යකර්මය පැවැත්වෙන දිනය ය. ඒ නිසා පැමිණිලි පාර්ශ්වයේ කිසිවෙක් අධිකරණයට පැමිණ සිටියේ නැත. එබැවින් මේ තැනැත්තා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන අඟහරුවාදා (17දා) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීගමුව සහකාර පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ ගේ මෙහෙයවීම මත මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුඩ්ලර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවති. මේ නඩුව දෙස රටේ මිනිස්සු ඇස් අයාගෙන බලාගෙන සිටිති. සැකපිට අත්අඩංගුවට ගත් පසු පොලිසියේ මරා දැමෙන අවසාන පුරවැසියා කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් විය යුතු බව ඔවුහු විශ්වාස කරති. යළිත් මෙවැනි නින්දිත අපරාධ සිදුනොවීමට තරම් නීතිය ශක්තිමත් හා සාධාරණ විය යුතු බව විශ්වාස කරති. නිල ඇඳුමක් ලා ගත් පුද්ගලයකු සතුවිය යුතු විනය හා වගකීම පිළිබඳ අධිකරණයෙන්ම යළිත් වටයකින් පොලිසියට මතක් කර දෙනතුරු උපේක්ෂා පෙරදැරිව සිටිති.


 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka